FIND THE POEM WRITTEN FOR YOU

in hive-102306 •  3 years ago  (edited)

මේක පුංචි පොතක් ගැන කතාවක්.

කැම්පස් එකෙන් අවුට් උන දවසේ ඉඳල නීතිඥවරියක් විදිහට දිවුරුම් දෙනකම්ම නීති විද්‍යාලෙ අවසන් විභාග‍ය වෙනුවෙන් එක එක වැඩ වලට ගමේ ඉඳල කොළඹ යන්න උනා. ඒක හරි දුෂ්කර ගමනක්. සෙනඟ පිරුණු බස් වල පැය හතර පහක ගමනක්. ඒ මාස හය හත මතක් වෙද්දිත් වෙහෙසක් දැනෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.

මගේ පෙම්වතා රැකියාව කළේ කොළඹ . වැඩ අතරමග දාල හැමදාම එන්න බැරි උනත් පුළුවන් දවසට හවස් වරුවෙ මාව බලන්න ආවෙ ඒ දවස් වල කොළඹ මට නුහුරු නිසා. එහෙම ඇවිත් මාව හැටන් බස් එකට නග්ගවලා බස් එක යනකන් අත වනපු විදිහ තාම මතකයි.

දවසක් මාව පිටකොටුවෙ ගුණසේන එකට එක්කන් ගිහින් මේ පොත අරන් දීල එයා කිව්ව බස් එකේ යන ගමන් කියවන්න කියල. එදත් නොපෙනී යනකම් එයා දිහා බලන් ඉඳල පොත කියවන්න ගත්ත.

IMG_20210531_125320.jpg

මං කවි කියවන්න ආස උනේ දවසක් පත්තරේක තිබිල පරාක්‍රම කොඩිතුවක්කු කවියගෙ "දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්" කියෙව්වට පස්සෙ. එදා ඉඳල මං පත්තරේ කවි පිටුව කියෙව්වෙ හරිම ආසාවෙන්. උසස් පෙළ විෂය නිර්දේශයට තිබුණු ඒ කවියගෙම "මිතුරන් දෙදෙනා සහ පොරව" මං හරිම ආසාවෙන් රස වින්ද. එච්. එම්. කුඩලිගම කවියගෙ "වැස්ස" වගේම "ගංගාවේ සංගීතය" වැස්ස දවසට තාලෙට කියවන එක ඉස්සර මගේ පුරුද්දක්.

ඉලක්ෂ ජයවර්ධන... මං ඒ නම අහල තිබුණෙ නෑ.

"දැන්,
පොත කියවලා බැලුවොත්
ඔබ වෙනුවෙනුත් ඇති එකදු හරි කවියක්.."

පෙරවදනට කලින් එහෙම කියල තිබුණු නිසා මං කුතුහලයෙන් කියවන්න පටන් ගත්ත.

පළවෙනි කවියෙ තාත්තෙකුයි පුංචි දුවෙකුයි චිත්‍රයක් ඇඳ ඇඳ හිටියා . "දුවගෙ චිත්‍රය" කවිය පුරාම තනිකම පාළුව ගැන සංකේත තිබුණත් කොතනකවත් දුවගෙ අම්මට මොකද උනේ කියල කියල තිබුණෙ නෑ.

".... හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බැහැ රෑට
දුවේ නුඹ දන්නවද දුරයි හඳ හාවාට"

අම්මව හඳට සමාන කරන්න කවියො ගීත රචකයො ඉස්සර ඉඳන්ම පෙළඹිලා තියෙනව. මේ කතාවෙ තාත්තටයි හා පැටියෙක් වගේ දුවටයි ඒ හඳ දුරයි. ඒ නිසා තාත්ත මෙහෙම යෝජනාවක් කරනව.

"චිත්‍රෙ අපි නොඇඳ ඉමු දුවේ අපි දෙන්නාව
එහෙම උනොතින් ළමයි සොයයි නුඹෙ අම්මාව"

ඉලක්ෂ කවියගෙ "යතුර පාපිස්ස යට" කවිය දික්කසාද නඩු වලට නඩත්තු නඩුවලට එන අහිංසක පාර්ශ්වයේ සමහර කතා වලට ගොඩක් දුරට සමානයි. පොලිස් නිලධාරියෙක් උන ඉලක්ෂත් රාජකාරි අත්දැකීම් පදනම් කරගන්න ඇති.

"ලේඩීස් පර්ෆියුම් මුසු කමිස සේදුව
දවස් වල උනත් නැහැ මැරුණෙ පෙම මේරුව"

ආදරය වගේම රාගය කියන්නෙ දුරදිග හිතල ඇතිවෙන හැඟීමක් නොවුණට අනියම් සම්බන්ධතා නිසා දුක් විඳින ජීවිත කොච්චර නම් ඇතිද කොච්චර අපරාධ වෙලා ඇතිද.. ඒත් මේ කවියෙ ඉන්න කාන්තාව තමන්ගෙ ස්වාමියාගෙ සතුට වෙනුවෙන් හැම නොසලකා හැරීමක්ම දරාගන්නව. ඒක කොන්දේසි විරහිත ආදරයක්.

"දුක් වෙන්න එපා මට හැකියි දුව රැකගන්න
යතුර පාපිස්ස යට මග වැරදුනොත් එන්න"

විවාහය, රැකියාව, යුතුකම් , වගකීම් අතරේ නැවතීමක් නැති කාර්‍යබහුලත්වය නිසා ලිහී ගිලිහී යන අතීත සුන්දර මිතුරු බැඳීම් ගැන "නික්මයාමට මත්තෙන් " කවියෙන් කියවෙනව. අපි හුඟක් දෙනාගෙ ඇත්ත මේක නේද කියල මට හිතුණ.

IMG_20210531_125525.jpg

ලියනවනම් හැම කවියක් ගැනම ලියන්න පුළුවන් . හුඟක් කවි කියවද්දි ආගන්තුක සිදුවීමක් උනත් මගේ අත්දැකීමක් වගේ හිතුණ.
"ලොකු අයියා", "ඇත්තමයි කොතනහරි වැරදිලා තියෙනවා ", "පැමිණිල්ලක්", "ගණන් අසමත් කමලා", අඹ යාලුවෝ" මගේ හිතට තදින්ම දැනුණ.

පොත කියවල ඉවරවෙද්දි බස් එක ගිනිගත්හේනටත් ඇවිත්. පොත දුන්න කෙනාගෙන් මට කෝල් එකක් ආව. "පොත ලස්සනයිද? එයා ඇහුව.
"ඒක කියවද්දි මට ඇඬුණ." මං කිව්ව.

"මට නුඹව හිමිවුණේ ඒ වගේ පෙමකට
කවියකින් අඩු කළේ ටිකක් හරි ගිය දුර"

ඉතින් මේ පොත කියවල නැත්තම් අරගෙන කියවන්න. ඔයා වෙනුවෙනුත් කවියක් ඇති.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

කවි සහ ගීත වල තියෙන විනිවිද බව මම කිසිම වෙලාවක තේරුම් ගන්න උත්සාහ කරල නෑ මේ වෙනකම්. නමුත් ඔබ එය සංයමයකින් යුතුව තේරුම් ගෙන තිබෙනවා. විවරණය කෙටි උනත් මම එය ඇත්තටම රසවින්දා.

කවියට ඇබ්බැහි වුණොත් ඔබ කවදාවත් එය අත්හ‍රින එකක් නෑ.

මම පොත් කියවන කෙනෙක් උනත් කවි ආසාවෙන් කියවලම නැති තරම්. ඒත් 'නික්මයාමට මත්තෙන්' කවිය ගොඩාක් ලස්සනයි.

ඔයාට ගොඩාක් ලස්සනට ලියන්න පුළුවන්. කෙටි කතාවක් කියෙව්වා වගේ දැනුණේ.

බොහොම ස්තූතියි!
සමහර කවි පුංචිම පුංචි වචන ටිකක් උනාට කෙටිකතාවකට , නවකතාවකට, චිත්‍රපටයකට වඩා තියුණුයි.

You have been upvoted by @damithudaya, A Country Representative from Sri Lanka. We are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.

Follow @steemitblog for the latest update. You can also check out this link which provides the name of the existing community according to specialized subject.

Thank you very much!