නිර්ලෝභී මිනිස්සු

in hive-133716 •  9 months ago 

Power-of-Appreciation-Are-Appreciation-Words-Good-or-Bad.jpg
source
යාළුවනේ ඔයාලා ඔක්කොම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.මේ දවස්වල ඇතිවෙලා තියෙන ගංවතුර තත්ත්වය නිසා ගොඩක් මිනිස්සු පීඩාවට පත්වෙලා තමයි ඉන්නේ.ඉතිං අපේ ගෙවල් පැත්තත් ගංවතුර නිසා වට වෙලා තමයි තියෙන්නේ.ගෙදර යට නොවුනත් වටේටම වතුර දාන නිසා කොහෙවත් යන්න විදියක් නම් නෑ.ඒනිසා මේ දවස් ටිකම ගෙදරට වෙලා ගෙදර වැඩ ටික කරගෙන තමයි හිටියේ.ඉතින් වෙනදට වඩා මේ දවස් ටිකේ සමාජ මාධ්‍ය ජාලා වල සැරිසරන වෙලාව නම් ටිකක් වැඩියි.ඒ හින්දම මට මුහුණු පොතෙන් හම්බුනා හරි ලස්සන කතාවක්.කතාව ගැන ලියන්න කලින් පොඩි ප්‍රවේශයක් අරන් ඉන්නම්.මම මේ තරම් කාලෙට ගොඩක් මිනිස්සු දැකලා තියෙනවා අපි කරන පොඩි දේ පවා අගයලා අපිට වටිනාකමක් ලබා දෙන.ඒ වගේම අපි මොන තරම් දෙයක් කරත් ඒකෙ වැඩිය ගානක් ගන්නේ නැති පොඩි වචනෙකින්වත් අපිව අගයන්නේ නැති මිනිස්සුත් මම අනන්තවත් දැකලා තියෙනවා.ඉතින් මේ දෙකොට්ඨාසය අතරින් අපිට පොඩි වටිනාකමක් හරි ලබා දෙන මිනිස්සුන්ගෙන් අපේ හිතට දැනෙන සැහැල්ලුව වගේම සහනය සෑහෙන්න වැඩියි.ඉතින් මේ කතාව අන්න ඒ නිර්ලෝභී මිනිසුන් ගැන.කියවල බලන්න ඔයත් ඒ අතරින් එක්කෙනෙක්ද කියලා.


අපේ ගෙදර උදවිවට ළඟදි ආපු සෝමා රහට කෑම උයනව, ⁣වැඩිපුර ගෙදර නැති මං ගෙදර ඉන්න වෙලාවට නංගීගේ පොඩි උන් ටික වට කරන් කෑම කනවා, කාල ඉවර වෙලා වතුර බොන්න කුස්සියට දුවන පොඩි උන් තුන් දෙනාම,
"සෝමා ඇන්ටී කෑම රහයි"
කියල කෑගහනව...

දවසක් සෝමා මා ළඟට ඇවිත් ⁣හිටගෙන ඇඹරෙනව...

"මොකද සෝමා?"

"සර්, මං ගිය කිසි ගෙදරක ළමයි කෑම කාල රසයි කියල කියල නෑ... සර්ද කීවේ එහෙම කියන්න..?"

"නෑ සෝමා...ඒ පුතාල පුරුදු වෙලා තියෙන හැටි.."

සෝමා ගෙ ඇස්වල කඳුලු..

"ඉතිං සෝමා ගෙ කෑම රහයිනෙ, එහෙම කියන එක වරදක් නෑනෙ.."

"නෑ සර්... එහෙම ඇහෙන එකම සතුටුයි.."

සෝමාට මේක මෙච්චර දැනුණෙ ඇයි කියල මං තනියෙම කල්පනා කළා...

මං කුඩා කාලයෙ අපෙ ගෙදර දැක්ක දෙයක් තමයි අම්මා ගෙදර වැඩ ඇතුළෙ කන කට්ට තාත්තා වචනයෙන් අගය කළේ නැහැ, තාත්තා ගෙදරින් එළියෙ කන කට්ට අම්ම වචනයෙන් අගය කළේ නැහැ...
ඒ අගය කිරීම හිතේ නැතුව නෙවෙයි, හැබැයි වචනයෙන් කියන්නෙ නැහැ. ඒ පරම්පරාවේ හැටි වෙන්නැති...
හැඟීම් හිත ඇතුළෙ තද කරන් ඉන්න එක ඒ පරම්පරාවේ ලාක්ෂණික දෙයක් වගේ...

ඒක ගැන මගෙ කියවීම විවේචනයක් නොකර මං පොඩිවුන්ට කියල දුන්න කෑම කාල "අම්මෙ කෑම රහයි", "ඇන්ටි කෑම රහයි"
කියල කියන්න...

මම විදේශ පුහුණුවට ඉද්දී ⁣දැක්ක දෙයක් තමයි පුංචි දෙයක් පවා"අගය කරන" එක.
"ඔබ හොඳින්ද" කියල අහන එක.

වෛද්‍යවරයා පිටිපස්සෙන් එන පිරිසිදු කරන සේවකය එනකන් "දොර අල්ලන්" ඉන්න එක.
"ඔබ අද ලස්සනයි" කියන එක.
තමන් එක්ක එකට වැඩ කරන කෙනාව "අගය" කරන එක...

සරලවම මේ හැම දෙයින්ම වෙන්නෙ අනිත් මනුස්සයට "වටිනකම" දෙන එක,
සමහරු කියන්න පුලුවන් මේව මූනිච්චාවට කරන ඒව කියල.. හැබැයි මේවගෙන් ඇතිවන ප්‍රතිපලය හොඳ දෙයක්...

කාර්යාලයෙදි සුලු සේවකයා පවා අගය කරන්න...
ඔහු කාර්යාලය පිරිසිදුව තබා ගන්නා බව කියන්න...
හදල ගේන තේ එක රස බව කියන්න...
තමන්ගෙ සහෝදර සේවකයෙක් හොඳට වැඩ කරනව නම් ඒ බව කියන්න...
පිටට තට්ටුවක් දාල කියන්න...
"වචනයෙන් කියන්න.."

තමන්ගෙ වෘත්තීය සගයන් අතරෙ දක්ෂයන් ඉන්න පුලුවන්, ඒ බව පිළිගන්න...
ඔවුන්ගෙ හැකියාවන් අගය කරන්න...
අගය නොකිරීමට හේතුවක් හොයා ගන්නවාට වඩා අගය කරන්න හේතු හොයන එක ලේසියි... අගය කරන්න...
"වචනයෙන් කියන්න.."

මේ කිසි දෙයක් සතපහක වියදමක් දරන්න උවමනා වැඩ නෙවෙයි. මැරුණට පස්සෙ මළගෙදර කරන ගුණකථනයකට වඩා, රස්සාවෙන් අස්වෙන දවසෙ ලොකු වියදමක් දරන ෆෙයාවෙල් එකකට වඩා, රට අතහැරල යන දවසෙ කරන සෝබන කතාවකට වඩා මේ වචන ටික වටිනව නේද..?

ඒ හින්ද,
අගය කරන්න පුරුදු වෙන්න...

ඒක පුරුද්දක් වුනාම,
ඔබ මනුෂ්‍යයෙක් වශයෙන් නිදහස් වෙනව...
හිතේ සැහැල්ලුව හැදෙනව...
ජීවිතේ සතුට හැදෙනව...

අනිත් මනුස්සය නිර්ලෝභීව අගය කරන මිනිහ මනුස්සකමේ සෑහෙන දුර ගිය කෙනෙක්...

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!