එක දිගට ඇද වැටුණු වැස්ස දැන් නම් පොඩ්ඩක් අඩුවෙලා කාලගුණය ටිකක් යහපත් වෙලා තියෙන නිසා පීඩාවට පත්වෙලා සිටින මිනිස්සුත් යම්තාක් දුරට ඒ අවධානමෙන් මිදිලා තමයි ඉන්නේ.ඉතින් මම අද ලියන්න යන්නෙත් කවියක් ගැන.මේ කවිය රචනා කරලා තියෙන්නේ පවන් ශාමික කවියා.සාමාන්‍යයෙන් මම කියවල තියෙන කවි අතර අම්මා ගැන ලියලා තියෙන කවි වලට වඩා තාත්තා ගැන ලියලා තියෙන කවි මට නම් සංවේදී වැඩියි.සමහරවිට අම්මා තරම් තාත්තට කවි ලියැවිලා තියෙන නැති හින්ද වෙන්න ඇති.කොහොම නමුත් ඒත් ලියවිලා තියෙන කවි නම් ගොඩක් සංවේදී ඒ වගේම ඒ හැම කවියක්ම වගේ හිතට දැනෙනවා.ඒකට හේතුවකුත් තියෙනවා.සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට, ගොඩක් පවුල්වල තාත්තා ළමයින්ට කොච්චර ආදරෙ උනත් , ළමයි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කළත් ඔවුන් ඒක පෙන්නන්න යන්නේ නැහැ.අපිට ඒ ආදරය කොච්චරක්ද ඒ කැප කිරීම් කොච්චරක්ද කියලා දැනෙන්නේ දවසක ඔබේ ස්වාමියා හරි ඔබ හරි පියෙක් උනාම විතරයි.හිතින් ජීවිතේ තාත්තා ඔයාට වචනයෙන් ආදරේ කියල නැති වුනාට ඔවුන්ගේ හිතේ තියෙන ආදරේ මහමෙරක්.මේ ගොඩක් කවි වලින් ඒක තදට දැනෙන්න ඉඩ හරිනවා.ඒ නිසාම වෙන්න ඇති ඒ කවි ගොඩක් අපේ හිතට දැනෙන්නේ.ඉතින් මම අද තෝරා ගත්ත කවියත් ඒ වගේම එකක්.මේකෙත් තාත්තා කරන කැප කිරීම් , ඔහුගේ තියෙන දාරක ස්නේහය හරි ලස්සනට ලියලා තියෙනවා.ඉතින් කවිය කියවලා බලන්න, කියවලා ඔයාට හිතෙන දේත් comment කරන්න.මේ කවියෙ මාතෘකාව තමයි "යෝධයාගෙ සිත්තම"
සුදු ඩ්‍රෝවින් පිටුපුරවා
ළමෝ අඳින චිත්‍ර අතර
වේළුසුමන දීඝජන්තු
කහ පාටයි නන්දිමිත්‍ර
තෙල් සායම් නැවක ගිලුණු
ලිලිපුට්ටං මැද ගලිවර
නම නොදන්න තවත් එකෙකි
මායා බෝංචි කෙළවර
හතරට නැමු මගෙ චිත්‍රය
ටීචර් ගත්විට බලන්න
ඔලොක්කුවට හිනාවෙලා
සැරසුණේ ටොක්කක් අනින්න
පැස්ටල් ඉල්ලන්නෙ කොහොම
එපා ළමුනි හිනාවෙන්න
රෑ තුන් යම කෙඳිරි ගාන
වළලුකරෙන් දුක අහන්න
කුරුම්බැට්ටියක පපුවේ
වැහුනේ නැති හිල වහන්න
කනාටු ගෙඩියක ඇදුමට
හති පෙති ටික කඩෙන් ගන්න
කුරුවැල් වුනු වෑවරයට
හෙට දින දෑවදි හොයන්න
ඔය එක යෝධයෙකුට බෑ
ගස් සියයක් බඩ ගාන්න
නිමල්ගේ පොත හොරෙන් ඉරා
ගත්තේ සුදු කොළ ඇබින්ද
පාටකරේ අඟුරු කැටෙන්
මං ලිප් බොක්කෙන් ඇහින්ද
යෝධයොන්ට කෙට්ටු පපුව
දැලි අතපය ඔට්ටු නැද්ද
බුදු තාත්තේ නුඹ ඇරුනම
මට වෙන යෝධයො කොයින්ද??