නිකිණි අහස යට Under the Sky in August

in hive-133716 •  3 years ago  (edited)

කලක් තිස්සෙ අහල පුරුදු නමක්, රඹුක්කන රුවන් සුදස්සන.

ඒ පුවත්පත්වල කවි පිටු සමඟ ඔහුගේ සබඳතාවට දිගු ඉතිහාසයක් තිබෙන නිසා වෙන්න ඕනෙ.

බොහොම ඉවසිලිවන්ත දිගු කාල පරාසයකට පසු ඔහු පසුගිය වසරේ දී සිය කුලුඳුල් කාව්‍ය සංග්‍රහය එලි දක්වා තිබෙනවා "නිකිණි අහස යට" නමින් කතෘ ප්‍රකාශනයක් ලෙස.

මෙම කවි සරණියේ සරල සුමට හද බසින් සහෘදයන් ආමන්ත්‍රණය කරන සිත් ගත් කවි කිහිපයක උපුටන ඔබ හා බෙදා ගන්නට සිතුණා.

ප්‍රේමය වනාහී හිමි වූ දා සිට කෙමෙන් මියැදෙන්නක් බවත් එය නිරන්තරයෙන් ජීවමාන වන්නේ එකිනෙකා අහිමි වීමෙන් විරහවට පෙම් බඳින ප්‍රේමවන්තයන්ගේ හදවත්හි බවත් කියැවෙනවා.

සිය ජීවිතයේ මධ්‍යම යාමයෙහි සිටින කවියා මොහොතකට එවන් තුරුණු පෙම්වතෙකුගේ චිත්තාභ්‍යන්තරය ස්පර්ශ කරන්නේ මෙසේය.

සඳ වැතිර ගත් හීන වෙරළත
ඔබේ පියවර ලකුණු නැත අද
නමුදු මා හද ඉවුර දිග ඔබ
තවම පියවර තබනවා

නපුරු කළුවර පාරවන නෙත
කඳුළු දොරකඩ ඇරී හෙමිහිට
කොපුල් තලවල ඔබ තබා ගිය
හාදු සලකුණු මකනවා
"ඔබ" (පිටුව 36)

නොයෙක් වර බහුතර කවීන් අත හැඩ ගැන්වුණු සුලබ අනුභූතියක් වුව "ඇය" නිකිණි අහස යට දී රසික මනස තුල ලැගුම් ගන්නේ නිර්නාමිකවය. රුවන් ඇය පාඨකයා ට හඳුන්වා දෙන්නේ සුලබ පර්‍යාය නාම කිසිවකින් තොරව වීම විශේෂත්වයකි.

උනා ගත සළු
තබා ඇඳ කොනක
හෙළා සුසුමක් කළුවරට
වැතිර ගත් සඳ දරුවන් අතර
ලැබෙයි ඇයට යළි ජීවිතය
රැය පුරා මිනිසුන් රැගෙන ගිය
"ඇය" (පිටුව 42)

නෑදෑ හිත මිතුරන් ඉදිරිපිට අතැඟිලි බැඳ ප්‍රතිඥා දී බාර ගන්නා බිරින්දෑවරුන් ගැන ස්වාමි පුරුෂයන්ට ඇත්තේ සෙනෙහස සහ සානුකම්පාව මුසු විසල් වගකීමකි. කවියා බිරිඳ පිළිබඳ සිය හැඟීම් මෙසේ විදාරණය කරයි.

පුදා සෙනෙහස පොවා කිරිදිය
ගිමන් හරිමින් නිදයි කෘෂ ළැම
ළැම යටින් සෙනෙහස ගලන තැන
තිබෙයි සැනසුම මෙතෙක් මා ලද
"බිරිඳ" (පිටුව 19)

මෙය මට සිහි කළේ ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ "වස්සානේ" කවි පොතෙහි පිදුමයි.

"හේමමාලීට" හිසින් යුත් එහි මුල් කොටස පහත දැක්වේ. හේමමාලි යනු අකල්හි වියෝ වූ කිවියර බිරිඳයි.

කිරි ශිරා සියක් ඉල්පී
කෘෂ ළැමට ඇදී එත් මැයි
පියයුරෝ දෙදෙන හොරැහින්
බිම බලාගෙන හඬත් මැයි

රුවන්ගේ අපේ අම්මා ගැන ලියවුණු පහත කවිය ඇරඹෙන අයුරුයි මේ.

බදුලු අහසට දුක හිතුණු රෑ
කඳුළු මහ වැහි වැගිරුණා
කෘශව කෙඳිරිළි මුමුණමින් සිටි
බදුලු ඔය යළි තර වුණා

එහි අවසානය සනිටුහන් වනුයේ මෙසේය.

හේන කුඹුරට දියව ගිය කය
දෝතින්ම ඔය ගන්නැතී
විඳින දුක උහුලනු බැරිව ඔය
ඈ දියේ සඟවන්නැතී
"ඈ දියේ සඟවන්නැතී" (පිටුව 65)

නිසඳැස්, සඳැස් පද්‍ය පන්ති 57කින් සමන්විත මෙම වින්දනීය කාව්‍ය සංග්‍රහය අත්පත් කරගෙන විඳින්නැයි කවියට ලැදි සැමට මින් ඇරයුම් කරනු කැමැත්තෙමි.

ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය ප්‍රගුණ කරගත් ප්‍රතිභාපූර්ණ කවියාට දිගු ජයග්‍රාහී ලිවිසැරියකට සුභාසිංශන එක් කරන්නෙමි.

--- චාම් ----
FB_IMG_1628704048371.jpg
FB_IMG_1628704063188.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මේ පොත ගැන කිව්වට බොහොම ස්තුතියි. අරගෙන රස විඳින්න ඕනේ.

@anupama(54); වටිනවා. පහසු මිලකට ගන්න හැකි. ඉතා කෙටි වෙලාවකින් කවියක් විඳින්න පුළුවනි.කවි විඳින රසිකයා තුල වෙනම රසඥතාවක් කාලය සමග වැඩෙනවා.ඇතැම් කවි තුල ව්‍යංගාර්ථ සඟවා තියෙනවා. කවිය තමාගේ අත්දැකීමට සමපාත වෙන විට පාඨකයාට එතුලින් දුරක් යා හැකියි.😊

මේක දැකලා වත් අහලාවත් තිබුනේ නෑ. අරගෙන ආවට ස්තූතියි.❤️
මේක ගොඩක් රසවත් කියලා විශ්වාසයි.

ඉස්කෝලේ යන කාලේ සිංහල පොතේ තිබුණ කවි වලට පිටු ගනන් විචාර ලිව්වා මතකයි. ඒත් අද වෙන තුරු කවි පොතක් කියවලා නෑ මම... ලැජ්ජාවට කරුණක්... මේ ලිපිය දෙන උත්තේජනය ප්‍රමාණවත් වුණා කවි පොතක් කියවන්න හිතක් පහල වෙන්න....

ඒවගේම, නරකද ඔබත් ඔබෙම කවි පොතකට උත්සාහයක් ගත්තොත්.... ❤️🤗

@sandupi(67): එක කවි පොතක් කළා 2019දි. "එක වහල යට" නමින්.😊
IMG_20201004_221149.jpg

mata me potha kiyawanna oni..kohomada ganne?

@anupama(54): ප්‍රකාශක grantha.lk ළඟ තියේ.(0719448899 ) leading online book shop එකක් නිසා ගෙදරට එවනවා. (ඔයාට තව පොතුත් අවශ්‍ය නම් Discounts එක්කම ගෙන්වා ගත්තැකි. එයාලගෙ web site එක බලන්න. මාත් වරින්වර ගෙන්වා ගන්නවා )😍

@anupama(54);

Screenshot_20210819_201553.jpg

harima apurui 🤗.

@rasinkani(65); ඔව්, ඒ මතකය මිහිරියි.

harima lassana wagema arthawath kavi ekathuwak.