source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව.අද ලියන්න යන්නෙ අපි කාටවත් කියන්න යන්නෙ නැතුව ඒත් ඇත්තටම අපේ ජීවිතේ ගෙවෙන විදිය ගැන. ගොඩක් මිනිස්සු ඉන්නෙ මාස් පතා පඩියක් ගන්න අය. ඉතින් ඔවුන් උපරිම මුල් සති දෙක ඇදගෙන ගියත් ඊලග සති දෙක ඇදගන්න ගහන රෝල හිතාගන්නවත් බෑ.දැන් රටේ තියෙන ආර්තික තත්වෙ එක්ක ඒක තවත් අමාරුයි. මේක ගැන හරි ලස්සනට ලියපු කතාවක් මුහුනු පොතෙන් කියවන්න පුලුවන් උනා. ඉතින් කියවල බලන්නකො ඒක කොච්චර ඇත්තද කියල.
රුපියල් 10000ක් වටිනා ඔරලෝසුවක්, රුපියල් 6000ක් වටිනා සපත්තු යුවලක්, රුපියල් 4000ක් වටිනා ශර්ට් එකක් හා කලිසමක් ඇද පැළද ගෙන, ලක්ෂ 2ක් විතර වටිනා phone එකත් අතේ තියාගෙන, ලක්ෂ 3ක් වටිනා laptop එක තියෙන බැග් එකත් එල්ලගෙන නුගේගොඩින් 138 බස් එකට නැග්ගේ ගෙදර යන්න 7.50 කෝච්චිය අල්ලගන්න.
කොන්දොස්තරට සල්ලි දෙන්න පර්ස් එක අතට ගත්තේ උදේ ඉතුරුකරගත්ත රුපියල් 400 ඇත්තටම තියෙනවද කියන දෙගිඩියාවෙන්. බස් එකට රු.75 යි, කෝච්චියෙන් බැහැල ගෙදර යන්න රෑට බස් නැති නිසා ත්‍රීවීල් එකට රු. 200. එතකොට මට රු.125ක් ඉතුරුයි. හැබැයි ඉතින් හෙට ඉදලා දහවෙනිදා පඩි හම්බවෙනකම් office එන්න වෙන්නේ අම්මගෙන් දවසට රු.500 ගානේ ඉල්ලගෙන තමයි. සීසන් තියෙන නිසා කෝච්චියට ටිකට් ගන්න ඕනේ නැති එකනම් ලොකු සහනයක්.
කොන්දොස්තර ඇවිත් "සර් සල්ලි ගන්න" කිව්වම මම 100 කොලයක් දීල කොටුවට ටිකට් එකක් ගත්තා. අනික් සමහර කොන්දො වගේම මැනුත් "5ක් නැනේ මහත්තය" කියල ඉතුරු 25 වෙනුවට 20 කොලයක් දුන්න. ඒ බස් එකේ හිටිය තව 10-15 දෙනෙක්ටම මේ වැඩේ උනා. කොහොමත් කොල්ලෝ කෙල්ලෝ රු.5 ඉල්ලගෙන යන්නේ නැනේ.
කොන්දොස්තර මහත්තය දවසකට අඩුම දෙසිය දෙනෙක්ටවත් මෙහෙම කරනවා ඇති කියල මට හිතුණා. ඒ කියන්නේ දවසට රු. 1,000ක මාසෙට රු.30,000ක අඩුම අමතර අදායමක්. (කොන්දා මට සර් , මහත්තයා කියපු එකට මටම හිත ඇතුලින් හිනා ගියා)
කොහොමහරි බස් එකෙන් බැහැල කෝච්චියේ සීට් එකක් අල්ලාගෙන ඇස් දෙක පොඩ්ඩක් පියා ගන්න හදනකොටම බොහොම බැගැපත් කටහඩකින් සිගමන් යදින අවුරුදු 45ක විතර මිනිහෙක් එහා පෙට්ටියේ ඉදලා මන් ඉන්න පෙට්ටියට නැග්ග. අපිරිසිදු ඉරුණු ෂර්ට් එකක් හා සරමක් ඇදගෙන හිටියේ, සෙරෙප්පු දෙකක්වත් නෑ.
මට මේ මනුස්සයව ටිකක් මතකයි. බැලින්නම් සති දෙකකට විතර කලින් දවසක් බස් එකෙත් හිගාකන්න අවා. එදා මමත් රු.100 ක්ම දුන්නා (මට එහා පැත්තේ හිටිය ලස්සන කෙල්ලට පේන්නත් එක්ක).
කොහොමහරි එදා මේ මනුස්සට තිබ්බේ බඩවැලේ පිළිකාවක්, අද වෙද්දී ඒක සුවවෙලා වකුගඩු රෝගයක් හැදිලා .............
මේ මනුස්සය විනාඩි 10 - 15ක් විතර කෝච්චි පෙට්ටියේ දුක කිය කියා ගියා. හිත් උණු උන මිනිස්සු රු. 20 කොළ 20ක්, 50 කොළ 10ක්, 100 කොළ 2ක් වගේ මෙයාගේ අතේ තිබ්බා. ඒ කියන්නේ රු. 1,100ක් විතර විනාඩි 15කදී .
(දවසට පැය 8ක් හිගැකාවොත් 35,000ක් විතර, මාසෙට දවස් 20ක් හිගැකාවොත් ලක්ෂ 7ක්)
කොහොමහරි මේ මනුස්සය මන් ලගට එද්දී මන් ඇස දෙක පියාගෙන නිදි වගේ හිටියා මොකද මටත් හෙට ඉදල office එන්න අම්මගෙන් හිගා කන්න වෙන නිසා, මෙයාට දෙන්න සත පහක් වත් මන් ලග නැති නිසා
හිගන්නා ඊලග පෙට්ටියට මාරු වෙද්දී මට SMS එකක් අවා . බැංකුවෙන් ........
එකේ තිබුනේ credit card එකේ බිල ගෙවන්න . නැත්නම් සති දෙකකින් card එක block කරනවා කියලා