පරාජය : ඉලක්කයේ නැවතුම ද? ජයග්‍රහණයේ ආරම්භය ද?

in hive-133716 •  2 years ago 

ජීවිතේ හති වැටීගෙන ඇවිදගෙන යන වෙහෙසකර ගමනෙදි කී පාරක් නම් අපි ඇද වැටිලා ඇතිද? කී පාරක් නම් අපේ ගමනාන්තය නොහිතපු තැනක නැවතිලා ඇතිද? එක වතාවක් ඇද වැටුණු පමණින් අපි එතැනින් නැවතිය යුතු ද? අපේ ඉලක්කය අතහැරිය යුතු ද?

එන්න, දම්පාට වළාකුළු පිරුණු ආදරණීය අහසෙන් වැටෙන මල් වැස්ස මැද මගෙත් එක්ක සාර්ථකත්වය සොයාගෙන ඇවිදගෙන යන්න...🥰

tracey-and-kimberly-eaton-play-injured.jpg
ඡායාරූප මූලාශ්‍රය Tracey and Kimberly Eaton

ජයග්‍රහණය හරි උජාරුවෙන් සමරන, පරාජයට අදුරු අගාධයක සුසුම් හෙළන ලොවක පරාජය ජයග්‍රහණයේ ප්‍රතිවිරුද්ධ අන්තය නොව ජයග්‍රහණයට යන මාවතෙහිම නොවෙන්වූ හා සුවිශේෂී වූ සන්ධිස්ථානයක් බැව් හදුනා ගැනීම බෙහෙවින්ම අසීරු ය.

වයසින් වැඩි වුණත් පුංචි පැටවු තරමටම අපිත් කතන්දර අහන්න ආසයිනෙ... ඉතින් මම ඔයාලට පුංචිම පුංචි කතන්දරයක් කියා දෙන්නම්...

“එකෝමත් එක කාලයක හිරෝෂි කියලා තරුණ දුනුවායෙක් හිටියා. එයාට ප්‍රදේශයේ ඉන්න දක්ෂම දුනුවායා වෙන්න අවශ්‍ය වුණා. ඒ නිසා එයා දිවා රෑ නොබලා කඩිසරව අවශ්‍ය සියලුම කුසලතා පුරුදු පුහුණු වුණා. එක දවසක් හිරෝෂි එහා ගමේ දක්ෂතම දුනුවායාට තරගයකට ආරාධනා කරන්න තීරණය කළා.

තරගය දවස උදා වුණා. හිරෝෂි බොහොම විශ්වාසයෙන් ඔහුගේ ඊතලය ඉලක්කය වෙත මුදා හැරියා. නමුත් අවාසනාවකට ඔහුගේ ඉලක්කය සම්පූර්ණයෙන්ම වැරදී ගියා. හිරෝෂිව තව තවත් අධෛර්යයට පත් කරමින් ප්‍රතිවාදී දුනුවායා නිරුත්සාහයෙන්ම නිවැරදි ඉලක්කයට විද්දා.

පරාජයට පත් හිරෝෂි නැවත ගමට ආවා. නමුත් ඔහුගේ සිත තම හැකියා වැඩි දියුණු කර ගැනීමේ නොතිත් ආශාවෙන් පිරී තිබුණා. ඔහු පුවීණ දුනුවායන්ගේ ද උදව් උපකාර ඇතිව ඔහුගේ අඩුපාඩු, දුර්වලතාවලින් ඉගෙන ගනිමින් දිවා රෑ නොබලා පුරුදු පුහුණු වුණා. ඔහු දුනු ශිල්පයේ ප්‍රායෝගික කුසලතා මෙන්ම අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තිය ද වැඩිදියුණු කර ගත්තා.

මාස ගණනක නොනවතින පුහුණුවෙන් අනතුරුව හිරෝෂි යළිත් මුල් දුනුවායා හට ම තරගයකට ආරාධනා කළා. මෙවර ඔහු බොහොම තැන්පත්ව හා අවධානයෙන් සිටියා. ඔහු සන්සුන්ව ඊතලය දුන්නෙන් මුදා හැරියා. සුළග කපාගෙන ගිය ඊතලය නිවැරදි ඉලක්කය මත පතිත වුනා."

ඉතින් මගේ ආදරණීය මිතුරු මිතුරියනි, පරාජය අවසානයද? ඇත්තටම නැහැ... පරාජය කියන්නෙ හැකියා වර්ධනය කර ගන්න වටිනා අවස්ථාවක්. ඔයත් ඔයාගෙ වැරදි වලින් ඉගෙන ගන්න, නොපසුබට උත්සාහයෙන් ඔබේ ඉලක්ක ජය ගන්න.

ඔයාලා මේ ආදරණීය දම්පාට වැහි බිංදු හිත පුරා රිසි සේ විදගන්න ඇති කියලා මම විශ්වාස කරනවා...💜 ආයෙත් දවසක ඉක්මනින්ම දම් පාට වැහි බිංදු අහුරක් ගෙනෙන තුරු ඔබට ආදරණීය ජීවිතයක් වේවා!...❤️

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!