අනපේක්ෂිත අත්දැකීමක්...

in hive-133716 •  4 days ago  (edited)

අපේ ගමනේ දෙවෙනි දවසේ අපිට මුහුණ දෙන්න උනු අනපේක්ෂිත අමිහිරි අත්දැකීමක් ගැන බෙදාගන්න හිතුවා..

IMG-20250126-WA0273.jpg

මඩු පල්ලියෙන් පිටත් වෙලා අපි කෙලින්ම පාලමක් බලන්න ගියා. ඒ තැන ගැන කලින් දැනගෙන හිටියෙ නැති උනාට අපි හැමෝම ආසාවෙන් තමා එතනට යනකන් බලන් හිටියෙ. මඩු පාරෙන් ඇවිත් ටිකක් දුර එනකන්ම වලවල් වතුර පාරවල් පහු කරගෙන අපි අන්තිමට එතනට ලගා උනා.

IMG-20250126-WA0276.jpg

IMG-20250126-WA0266.jpg

ඒ මන්නාරමේ තියන එල්ලෙන පාලමක්. මඩු පල්ලියේ ඉදන් විනාඩි 15-20ක දුරක් තමා එතනට තිබුනෙ. ඒ පාලමෙ නම "කුන්චුකුලම් එල්ලෙන පාලම". එච්චරම ප්‍රසිද්ධ තැනක් විදිහට මාත් දැනුවත්ව හිටියෙ නැති තැනක්..ඒත් අපි එතනට යද්දිත් තව වාහන කීපයක්ම එතන නවත්තල තිබ්බා.. අපි ඔක්කොම 24 දෙනෙක්, ඒකෙනුත් චූටි ළමයි 7 දෙනෙක් හිටපු නිසා හරි පරිස්සමින් පිලිවෙලට තමා පාලමට හැමෝම ගොඩ උනේ..එක්කෙනෙක් පිටිපස්සෙ එක්කෙනෙක් විදිහට හෙමින් හැමෝම පාලම දිගේ ඉස්සරහට ගියා..

IMG-20250126-WA0278.jpg

අපි එතනට යද්දිම අපි දැකපු දෙයක් තමා පාලමට පහල තිබුනු ඉඩකඩේ පිරිමි ළමයි කීපයක් සද්දෙන් සින්දු දාගෙන නටන එක. ඒත් අපි කවුරුත් එයාලට අවධානයක් නොදී පාලම උඩින් ඉස්සරහට ගියා. ඒ යද්දි මං දැක්කා අපේ දිහාවට පිරිමි ලමයි තුන් දෙනෙක් එනවා, ඒ උනාට දැක්කමත් හොද ප්‍රතිරූපයක් මැවෙන විදිහෙ අය නෙමෙයි. මට නිකමට හිතුනා පහල නට නට හිටපු කොල්ලො කීපයක් එයාලගෙ තියෙන යම්කිසි මානසිකත්වක් නිසා අපේ පිරිස අස්සට එන්න හදනවා කියල.

IMG-20250126-WA0285.jpg

මගේ අවුරුදු 15ක නංගි මගෙ ඉස්සරහින්ම හිටපු නිසා මං එයාටත් අයින් වෙන්න කියල එයාලට අපිව පහු කරන් යන්න දුන්නා. ඒ ටිකකින් අපි පාලමෙ එහා කෙලවරට ලං වෙද්දි ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බා. මගේ පුංචි කෙනෙක්, එයාගෙ ලමයවත් වඩාගෙන පාලමේ යද්දි එයාගෙ පිටිපස්සෙන් ගිහින් එතන හිටපු එක කොල්ලෙක් අනවශ්‍ය විදිහට එයාගෙ ඇග අල්ලලා තිබ්බා. අපි ප්‍රශ්න කරාම ඒකෙන් බේරෙන්න එයා කිව්වෙ "මට සිංහල බෑ" කියලා. ඒක බොරුවක් කියල තමා අපිට හිතුනේ.

ඒ වගේම එයා දෙමලෙන් කියලා තිබ්බා නංගි කෙනෙක් කියලයි හිතුවෙ කියලා. පාලමෙන් පහලට දාන්න තරම් තරහක් ආවත් අපි ඉවසන් හිටියෙ ආයෙ පාලමෙන් පරිස්සමට එහා කෙලවරට යන්න ඕන නිසා..ඒ උනාට මගේ බාප්පා කෙනෙක් ඒ කොල්ලට පාරක් ගහපු එක ගැන නම් මං ගොඩක් සතුටු වෙනවා.

IMG-20250126-WA0286.jpg

මොකද sorry sorry කියලා එතනින් අයින් වෙලා පාලමේ පටන් ගන්න කෙලවර එයාලගෙ පිරිස ලගට ගිහින් අපේ හිටපු අයියලා එක්ක ආපහු රණ්ඩුවට ආවා. ඒක එයාගෙ පෞද්ගලික දේපලක් වගේ අපිට get out කියල කෑගහද්දිත් මං හිටියෙ පාලම උඩ..

IMG-20250129-WA0015.jpg
වැරැද්ද කරපු කෙනා

ඊට පස්සෙ එතන පහල හිටපු එයාලගෙ පිරිසටත් කියල පිහි පොලු අරගෙන ඒ කට්ටිය අපේ පැත්තට ගහන්න ආවෙ අපි එයාලට වැරැද්දක් කරා වගේ. අපි ලග කිසිම ආයුධයක් ඒ වෙලේ තිබුනෙ නෑ..ඒ වගේම එයාල හොද සිහියෙන්ද මත්ද්‍රව්‍ය පාවිච්චි කරල ඉන්න අයද කියලත් අපි දන්නෙ නැති නිසා ඒ වගෙ පිරිසකගෙන් පිහි පාරක් උනත් අපිට බලාපොරොත්තු වෙන්න උනා..එයාලගෙම පොඩි ලමයි එයාලට එන්න දෙන්නෙ නැතුව අල්ලගත්ත නිසා අපිට කරදරයක් උනේ නෑ..ඒ උනාට අපේ අම්මා බය උනා පිහියක් අපිට විසිකරයි කියල..

එයාලගෙ අතේම වැරැද්ද තියාගෙන හරිම කැත විදිහට එතන එයාල හැසිරෙද්දි අපි අපේ වාහනේට ආවා. පොඩි ලමයි හැමෝම බය වෙලා ඉද්දි අපේ වාහනේ ළගටත් ඇවිත් කෑගැහුවා..අපේ අයියලත් රණ්ඩුවට ගිය නිසා අමාරුවෙන් තමා හැමෝවම බේරගෙන එන්න උනේ..

IMG-20250129-WA0016.jpg
විශාල රණ්ඩුවට ටිකකට කලින් ගත්තු ෆොටෝ එකක්

අපි නොදන්න පැත්තක්, අපි නොදන්න මිනිස්සු විතරක් ඉන්න පැත්තක්, නිසා කරදරයක් කරගන් නැතුව එතනින් පිටත් වෙලා යනවා කියලා අපි තීරණේ කරා..මොකද කාටහරි කරදරයක් උනොත් පොඩි ලමයි හැමෝටමත් ඒකට මුහුණ දෙන්න වෙන නිසා.. එතන හිටපු අනිත් හැමෝමත් අනවශ්‍ය කරදර දාගන්න බැරිකමටදෝ නරඹන්නො වගේ හිටියා.

අපි එතනින් පිටත් වෙලා ලගම හමුදා නැවතුම්පොලට පැමිණිලි කරේ එතන කාන්තාවන්ට තියෙන අනාරක්ෂිත බව ගැන..ඊට පස්සෙ පොලිසියත් දැනුවත් කරා. පොලීසිය කිව්වෙ මඩු පොලිසියෙන් පිරිසක් එතනට පිටත් කරනව කියලා. එතනින් එහාට ඒ ගැන තොරතුරක් අපිට ලැබුනේ නෑ..

ආයෙ එතනට යන අයව පෙර දැනුවත් කරන එක විතරක් කරන්න පුලුවන් නිසා මං මේක මෙහෙම බෙදාගන්න හිතුවා..

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Upvoted! Thank you for supporting witness @jswit.

Samahara pathiwala ohoma minissu gawasena than wala minissu innawa owatama purudu wela. Harima kalakirimak enne e wage deyak unama