මාරියම්

in hive-133716 •  4 months ago 

මේ ලෝකෙ මං ආසම ලියන්නා කවුද කියලා ඇහුවොතින් මගෙ ඔලුවට ඉක්මනින්ම දුවලා එන කෙනා තමයි Khalid Hosseini. The kite runner එහෙමත් නැත්නම් සිංහලට පරිවර්තනය වුණ සරුංගල් ලුහුබඳින්නාත් Hosseini ගෙ ලියවිල්ලක්. ඇෆ්ගනිස්තානය ගැන මහා ආදරයකින් හිත පුරවන්නත්, නිතරම ඇෆ්ගන් කතා තියෙන රාක්කය ළඟට ඇදිලා යන්නත් මට තිබුණ ලොකුම හේතුව Hosseini. ඉතින් එයාගෙ A thousand splendid of suns පොතේ සිංහල පරිවර්තනය මාරියම් මේ ළඟකදි මම පුස්තකාලෙන් අරගෙන ආවා. මේ ලියන්නෙ ඒ ගැන.

DDFD0866-981B-4B8E-9C39-6E605EE5B0A5.jpeg

මාරියම් කියන්න අම්මත් එක්ක තනිවම ජීවත් වෙන පුංචි කෙල්ලෙක්. මාරියම්ගෙ අම්මා මාරියම්ගෙ පොහොසත් තාත්තගෙ ගෙදර සේවිකාවක් වෙලා විතරක් හිටිය නිසා ඒ තාත්තා මාරියම්ගෙ අම්මව නීත්‍යානුකූල බිරිඳක් විදියට බාරගන්නෙ නෑ. ඉතින් ඒ නිසා මාරියම්ට සිද්ධ වෙනවා එයාගෙ අම්මත් එක්ක වෙනමම ගෙදරක ජීවත් වෙන්න. සතියකට වතාවක් එන මාරියම්ගෙ තාත්තා මාරියම්ට පෙන්වන සැබෑ නොවන ආදරය සහ බොරු ලෝකය ඇත්තක් කියලා පිළිගන්නත් මාරියම්ගෙ අම්මා මාරියම්ට පෙන්වන්න හදන ඇත්ත බොරුවක් කියලා පිළිගන්නත් තමයි මාරියම්ගෙ හිත කැමති වෙලා තිබ්බෙ.

මාරියම්ගෙ තාත්තා මාරියම් ඉස්සරහ මවපු ආදරය සහ ලෝකය බොරුවක් කියලා දැනගන්නකොට මාරියම් ගෙ තාත්තා මාරියම්ව ඇයට වඩා අවුරුදු පහළොවකටත් වැඩි මනුස්සයෙක්ට කසාද බන්දලා දීලා ඉවරයි. තාත්තා මවපු බොරු ලෝකය බොරුවක්ම කියලා තේරෙනකොට මාරියම්ට එයාගෙ අම්මත් සදහටම අහිමි වෙනවා. මං මෙහෙම වාක්‍ය කිහිපයකින් කිව්වට මේක දීර්ඝ කතාවක්. දුක දිග කතාවක්.

එතනින් ආරම්භ වෙන මාරියම්ගෙ විවාහ ජීවිතය සහ ජීවිත කතාව දුක්ඛාන්තයකින් කෙළවර වෙන දුක විතරක් උරුම ජීවිතයක්. ස්වාමිපුරශයාගෙන් දිනපතා සිද්ධ වෙන ගුටි, වද හිංසා සහ අවමානය! ඒ අතරෙදි තමයි මාරියම්ගෙ ගෙදරය ලයිලා එන්නෙ. ලයිලා කියන්නෙ මාරියම්ගෙ සැමියා වන රශීඩ් ගෙ දෙවන බිරිඳ බවට පත් වෙන කෙනා. ඉතින් කතාව අවසානයෙදි මාරියම් තමන්ට කිසිදාක නොලැබුණ ඒත් තමන් ප්‍රාර්ථනා කරපු ජීවිතය තව කිහිප දෙනෙක්ට දෙන්න තීරණය කරනවා. ඇය ඒ වෙනුවෙන් කරන කැපවීමෙන් අපේ ඇස් තෙත් කරලා කතාව අවසන් වෙනවා.

මේ කතාව ගොඩක් දිග, ගොඩක් බර කතාවක්! මං ප්‍රාර්ථනා කරනවා මාරියම් ප්‍රාර්ථනා කරපු නිදහස් ඇෆ්ගනිස්තානය, කාන්තාවන්ට මිනිසුන්ට මෙන් සලකන ඇෆ්ගනිස්තානය කවදාක හෝ සදහටම බිහි වේවා කියලා!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!