මේ දවස් වල හැමෝටම වගේ ආයෙත් වැස්ස.උදේ නැගිටිනකොට වැස්සෙ චුරු චුරුව ඇහෙනකොට මං වගේ සමහර අයට හොඳයි වගේම සමහර අයට නරකම නරකයි. මං වුණත් වැස්සට ආස වෙන්නෙ හෙවණක් යටට වෙලා ඉන්න තියෙන තාක් විතරයි.
ඉතින් මේ වගෙම වැස්ස වෙලාවක ලියපු කවියක් බෙදාගන්න හිතුණා. මේක මම ලිව්වෙ පුංචි කාලෙ ඉඳන් සිද්ධ වුණ ගොඩාක් දේ මතක් වෙලා.
සමහරවිට කවුරු හරි කෙනෙක් ඇවිත් අපට කියාදෙනකම්ම අපි දන්නෙ නෑ කොච්චර ලස්සන, උණුසුම් මිනිස්සුද කියලා. අපිට කොයිතරම් නම් දේවල් කරන්න තිබ්බද, අපි කොයිතරම් දක්ශද කියල සමහරවිට අපි කවදාවත් දැනගෙන්නෙ නෑ. මොකද අපිව සමහර විට අපේම ගෙදර ඇතුළින්, අපේ අවට පරිසරයෙන් බිඳලා දාලා තියෙන නිසා. අපි කලුයි නම් අපි කැත අය කියලා හිතාගන්න උගන්නලා තියෙන නිසා. කැම්පස් යන්න බැරි වුණොත්, A/L පාස් වෙන්න බැරි වුණොත් අපිව ඉක්මනින්ම නොවටිනා මිනිස්සු කරන නිසා වෙන්නත් පුලුවන්.
ඒත් සමහර විට කවදහරි දවසක අපි දැනගන්නවා ඒක එහෙම නෙමෙයි අපිත් ගොඩාක් ලස්සන, ගොඩක් දක්ශ, වටින මිනිස්සු කියලා. ඒක සමහරවිට අපිට කියල දෙන්නෙ අපේ ජීවිතේට එන හොඳ යාලුවෙක්.ගුරුවරයෙක්. සහෝදරයෙක් පෙම්වතෙක් හෝ පෙම්වතියක්.
මේ ඒ ගැන ලිව්ව කවියක්!
අප බිඳී ගිය පසුව
දැනගන්නෙ නෑ අපි
කෙතරම් සුන්දරද යන වග
කෙතරම් අපූරුද වග
සොඳුරු ගුණදම් මෙච්චරක්
අපිව සතුව ඇති බව!
ඒ වග කියාදෙන්නේ
කොහේ හෝ සිට පැමිණ
ළඟ රැදුණු, සමහරක් විට
කියා දී නික්ම ගිය මුත්
මතකයෙන් හැර නොයන
සදාකාලික මිනිසෙකි
ගැහැණියකි!
ඔවුන්ගෙනි අප දැනගන්නෙ
අපේ හිනාවේ ඇති මිහිර
අපේ කරුණාවේ ඇති සුවඳ
අපට කළ හැකි බොහෝ දේ ගැන
අපි අපිටම කමා කළ යුතු බව
අපි සතුව සැම විටම ආඩම්බර වීමට යමක්
සොයාගත හැකි බව
අප තනියෙන්ම දුක්බරව
ඔසවාගෙන ආ තනිකම
බිම තැබූ විට දැනෙන සැහැල්ලුව!