රිදුම් දුන් නික්මන ....

in hive-133716 •  3 years ago 

sp.jfif

ඔබ අසා තිබුනද තමන්ගේ උපන් දිනය දවසට තමන් ගායනා කල ජනප්‍රිය වූ ගීතයක රචකයාට වගේම සංගීත නිර්මාණය කල ශිල්පියාටත් මුදල් ත්‍යාග ලබාදෙන ගායන ශිල්පියෙක් ගැන.ගීතයක අයිතිය ගැන ,එයින් උපයන මුදල ගැන විවිධ තර්ක ,මතවාද තැනින් තැන ඇහෙන යුගයක කෙනෙක් එහෙම කරාවිද කියන එක ප්‍රශ්නයක්.ඒත් ඒ වගේ අතිශයින්ම මානුෂික වචන වලට පමණක් සීමා නොවුන සැබෑ සංවේදී කලාකරුවෙක් ඊයේ දවසේ තමන්ගේ දිවි සැරිය නිමා කරලා නික්මයන පුවත වාර්තා වුනා.ඒ සුනිල් පෙරේරා .ජිප්සීස් සුනිල් කිව්වම තමයි මුළු රටක් ඔහුව හඳුනන්නේ.අර මම මුලින් කියපු ගීතය තමයි "ලොරෙන්සෝද අල්මේදා කොළොම්තොටට යහපත් නාවිකයා "කියන ගීතය.ඒක ලියන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් වන w. ජයසිරි විසින් .මේ ගීතයේ සංගීත නිර්මාණය කරන්නේ කාලෝ විජේසිරි විසින්.සුනිල් පෙරේරා තමන්ගේ උපන්දිනය යෙදෙන සැප්තැම්බර් 14 වෙනිදට මේ දෙදෙනාටම රු :25000/ක මුදලක් දෙනවා .කාලෝ විජේසිරි අප අතර නැති වුනත් ඔහුගේ බිරිඳට අදාල මුදල තැපැල් මගින් යවනවා.මේ කටයුත්ත 2016 ඉඳලා අද වෙනකන්ම සිද්ද වෙන දෙයක්.(මේ අවුරුද්දේ කොහොම වෙයිද කියන්න බෑ .ඔහු අප අතර නැති නිසා )එහෙම සල්ලි දෙන්න හේතුව ඇහුවම ඔහු දෙන පිළිතුර තමයි "මම මේ සිංදුව ජනප්‍රිය වුන නිසා ඒක කියලා තවමත් සල්ලි හම්බ කරනවා ඉතින් ඒකෙන් ගානක් උඹලටත් අයිතියි" කියන එක.ඒ වගේ මිනිස්සු හොයාගන්න අමාරුයි. තමන් වෙළඳ දැන්වීම් වලට පෙනී ඉඳලා උපයන මුදලින් කොටසක් 30 කටත් වැඩි පිරිසක් වෙනුවෙන් වෙන් කරලා මාසිකව ඒ කටයුතු හරියාකාරව සිදු වෙනවද කියලා හොයල බලලා ජීවිතේ වින්ද අතිශයින් සුන්දර මනුස්සයෙක් .ප්‍රචාර වලට නොයා මිනිසුන් වෙනුවෙන් ඔහු කල උත්තම පූජාවන් ගැන දන්නේ අතලොස්සක් විතරයි.

sp2.jfif
කියන්න තියෙන ඕනෑම දෙයක් තරාතිරම නොබලා ඍජුවම කියන්න ඔහුට තිබුන පිටකොන්ද බොහෝ දෙනෙකුට නෑ කොහොමටත් නඩත්තු කරන්න මවාගත්තු ප්‍රතිරූප නැති අව්‍යාජ මිනිස්සුන්ට එහෙම කථා කරන්න ශක්තියක් තියෙනවා .සුනිල් පෙරේරා කියන්නේ ඒ වගේ සරල සුන්දර ලෙන්ගතු මිනිහෙක් .දශක ගණනාවක් ඔබට ඇසුන ගැඹුරු ස්වර මින්පස්සේ ඇහෙන්නේ නැති වෙයි.දහස් ගානක් මිනිස්සුන්ගේ දුක් ගිනි නිවන්නට දිගුකල මනුෂ්‍යත්වයේ දෑතින් ආයෙත් කාටවත්ම අල්ල ගන්නට බැරි වේවි .කණ්ඩායම් සංගීතයේ ඔහු සිදුකල පෙරළිය තව දශක ගණනාවක් මිනිස්සුන්ට මතක තියේවි ....ඒත් සුනිල් පෙරේරා කියන යුග ගණනාවක් රසවත් කල සොඳුරු අඬහැරය ආයේ කවදාවත්ම සජීවීව අහන්නට බැරි වේවි ..
ඒත් 69 වසරක් අපිත් එක්කම ඉඳලා ලාංකීය කණ්ඩායම් සංගීතයේ අළුත් මායිමක් සොයාගෙන ගිහින් අපිට තවත් කාලයකට අමතක නොවෙන සුන්දර මතක රැසක් එකතුකළ අතිශය ලෙන්ගතු ,සුන්දර ,මිනිසෙකුගේ නික්ම යාම පමණක් සදාතනිකව මතක තියේවි හදවත කොනක පුංචි රිදුමක් එක්කම ....
මේ සටහන මිනිසත්කමින් පොහොසත් වූ නිර්ව්‍යාජ සුන්දර මිනිසෙකු වෙනුවෙන් උපහාර පිණිසයි ..
සත්සර වැයෙන හැමතැනකම හැම රෑම ..
ඔබෙ ගී කියවුනා දෙවරක් නොසිතාම ..
"ලුණුදෙහි "දමා රසකල බයිලා බෝම ..
නොමියෙන හඬක් වියැකී ගොස් නොකියාම ....

sp1.jfif

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

I also really like the voice of this singer. Very sad about his death.

ගතින් අප අතර නැති වුවත් ඔහුගේ අපූරු නිර්මාණ හා ඔහුගේ චරිතය සදා අමරණීය යි.

මම මේ සිංදුව ජනප්‍රිය වුන නිසා ඒක කියලා තවමත් සල්ලි හම්බ කරනවා ඉතින් ඒකෙන් ගානක් උඹලටත් අයිතියි" කියන එක.

කලාතුරකින් හම්බවෙන මනුස්සකමක්.

ඔහු සහභාගි වුණ වැඩසටහන් බලලා තියෙනවා. කොන්ද කෙලින් තියාගෙන කාටවත් ගැති නොවී කතා කරපු විදිය ගෞරවනීයයි. හොඳ තැනක ඉපදෙන් ඕනෙ.❤️

කියන්න ඕන දේ කිසිම බයක් නැතුව ඕන තැනක කියනව ❤️ , ගොඩක් ආස ගායකයෙක් ඔහුගේ ගීතනම් සදා අමරණීයයි 😪❤️

ඉක්මනින් ජනප්‍රිය වුන ගීත නිර්මාණ බොහොමයක් තියෙනවා.

මතකයේ රැදෙන කලාකරුවෙක්

He had a different voice and a memorable smile! 🏳️