කතරගම ගිය දෙවෙනි දවසේ අපි උදේ 5.00 ට විතර නැගිට්ටුනා. අපිට පුරුදු පරිසරය නෙමේ නිසා වෙන්න ඇති උදෙන්ම ඇහැරුණේ. හෝටලෙන් දුන්න බෙඩ් ටී එක බොන ගමන් අපි කතා කලේ කතරගමදී නරඹපු නැටුම් ටික. තර්ක විතරක්ක කොයි තරම් අපුරුවට ගියාද කියනවා නම් අපිට වෙලාව යනවා තේරුනේම නැහැ. දන්නෙම නැතිව උදේ නමයත් වෙලා.
ඉක්මණින් අපේ සනීපාරක්ෂක කටයුතු නිම කරපු අපි උදේ ආහාරය අරන් හෝටලේට සමු දුන්නේ කැලෑ දේවාලේ වන්දනා කරලා ගෙදර එන්න හිතාන. අව් රශ්මිය වැටෙන්න කලින් අපි කැලෑ දේවාලෙ වැද පුදා ගෙන අපේ වඩාත් සිත් ගන්න ඊලග කර්තව්‍ය කරන්න මැණික් ගඟ ලගට ගියා. නිකම්ම නෙමේ පාන් ගෙඩි තුනකුත් අරගෙන. මැණික් ගඟ ළඟට ගිහින් එක පාන් කෑල්ලක් විසි කලා විතරයි පොකුරු පිටින් මාළු පොරකන්න ගත්ත. අපි හැමදාම කතරගම ගියාම මාළුන්ට කෑම දෙන වැඩේ කරනවමයි. අපි දෙන කෑම කන්න පොකුරු පිටින මාළු දඟලන හැටි බලන්න අපි හරි ආශයි. ඔයාලත් කතරගම ගියාම මේ අත්දැකීම ලබා ගන්න අමතක කරන්න එපා.
මාළුන්ට කෑම දීල අපි ඊළඟට ගියා ඝන දෙවි කෝවිල නරඹන්න. වැඩි වෙලාවක් එහි ගත නොකරපු අපි තීරණය කළා රත්නපුරා පාරෙන් ගෙදර එන්න. මොකද අපිට ඕනි වුණා සංඛපාලි විහාරයත් වැද පුදා ගන්න. ඊට කලින් අපි මගදී කෑම කඩයකට ගොඩ වෙලා දවල් ආහාර ගත්ත. එනකොට කාපු කෑම එක වගේම මේ කෑම එකත් ගොඩක් රසට තිබුණ. තුඹ කරවිල වගයක් උයල තිබුණ පුදුම රසක්. මම දෙවෙනි සැරේට තුඹ කරවිල සහ බත් විතරක් බෙදාන ඇවිත් කෑව. ඒ තරම් රසයි.
ඒ විතරක් නෙමේ තිස්සමහරාම රෝස කැකුළු කියල හාලක් තිබුණ විකුණන්න කිලෝ එක රුපියල් එකසිය තිස්පහයි. අපි එද්දී සහ යද්දී කෑවෙත් ඒ හාල්ම තමයි. කොච්චර රස වැටුණද කියනවනම් කිලෝ දහයේ මිටි තුනක්ම මිලදී ගත්ත. මොකද අපිට මේ පැත්තේ ඔය මුදලට හොඳ හාලක් ගන්න නැහැනෙ. එකක් පුතාලට. අනික් දෙක අපිට.
ඊට පස්සේ අපි මග කොහෙවත් නවත්වන්නේ නැතිව කෙලින්ම ගෙදර එන්න පටන් ගත්ත. හැබැයි කිරි ගන්න විතරක් එක තැනක නැවැත්තුව. අපි ඊලට කෙලින්ම නතර කලේ සංඛපාලි විහාරේ ළග. දැන් ඉස්සරට වැඩියේ ගොඩාක් වෙනස් වෙලා වැඩි දියුණු කරලා තිබුණ.
අපි කන්ද උඩටම නගින්නේ නැතිව විහාරයේ පහත මාලවල් විතරක් වැඳ පුදාගෙන ගෙදර එන්න පිටත් වුණා. අතර මගදී නවත්වල හවසට තේත් බීල රෑට කන්න ආප්පත් අරන් රාත්‍රී 7.30 වෙද්දී ගෙදරට ගොඩ වුණා.
අපේ පොසොන් වන්දනා නිමා වුණේ එහෙමයි.