No story is to tell
Every story is to feel
කාලෙක ඉඳන් හංගලා අතහැරලා, අමතක කරලා ඉඳපු
සියොළඟ හිරි වට්ටන, දරා ගන්න හරිම අමාරු
පුදුමාකාර මතක ගොඩක්; පරිස්සමට වහලා අඟුළු ලාපු
ශක්තිමත් ආවරණයක්
යෝධ මිටි පහරකින්
කුඩු පට්ටම් කරලා,
ඒ මතක ඔක්කොම
ඉහිරිලා දෝරේ ගලා යද්දී
ඒවා එකතු කරගන්න බැරුව
ඒ මතක වලම ගිලිලා කිමිදිලා ඉද්දි
ගහගෙන යන ඒ මතක වල මතකයක් විතරක් ඉතුරු කරන්
කළු ගැහුන වැහිබර උදහනක ඔහේ බලාගෙන
ජීවිතේ පෙරලි ගැන හිත හිතා ලතැවි ලතැවී
ඒ ‘ගෙට් ටුගෙදර්’ යයි ආටෝප නමකින් වැසුණු
මහා අතීතාවර්ජනයක සෙල්මුවා දොරටුව අභියස තනි වුණු
මම……
එදා මෙදා තුර විඳි අසීරුම අසරණ කම විඳිනා තරමටම
අසරණව සිටිමි.
අද නොදැනෙනා අද නොවිඳිනා ඒ අතීතය
අප නොයෙක් ජීවන හැල හැප්පීම් හමුවේ පාවා දුන් ඒ අතීතය
වැහි දාට පුසුඹ දුන් කලපුවේ සුවඳ
බේසමක් පුරවා රෝල්ස් මාළු පාන් තිබූ කැන්ටිමේ සුවඳ
ලඟින් යද්දී අමුතු සුවඳක් දුන් ලැබ් එක
ස්ටිකර් කාඩ්
ජොනි බට්ටෝ
කැප් රෝල් තුවක්කු
සසිඳු ගේ සාමාන්‍ය දැනීම පොත්
බ්ලැක් ඇන් බ්ලූ ඇල්බම් එක
ඊසොප් ගේ කතා පොත්
බුල්ටෝ
එකී මෙකී නොකී නොයෙකුත් මතක පිරුණු
ඒ අතීතය
එතනකින් නොනැවතී
මඟ හැරුණු, මඟ නොහැරිය යුතුව තිබුණු
දහසක් දේ එක පෙලට සිහි කරත්දී
අපි අපිවම පාවා දෙමින්
එයට බොරු හේතු කියමින්
ජීවත්වන්නා වූ
හිස් මිනිසුන් පිරිසකැයි
නිරායාසයෙන් මට සිතිණි.
මන්ද ඒ මඟ හැරුණු අතීත සුවඳ
හැම කෙනෙක් ම සොයනු නොවෙනස්ව දුටු නිසාවෙනි!
ඉතිරිය ඔබට භාරයි…………….