"අඤ්ඤමඤ්ඤසු දයා පරෝ භව" කියන තේමා පාඨය ඇසෙද්දි හදවතට වචනයෙන් විස්තර කරන්න බැරි අමුතුම හැඟීමක් එනවා. බද්දේගම ප්‍රදේශයේ අයට නම් මෙම වචන පේලිය ඉතාමත් හුරු පුරුදු දෙයක්. මොකද මේ වචන ටිකත් එක්ක බැඳුනු ලාංඡනය සුදු කමිසයේ පැලඳගෙන කොල්ලො කුරුට්ටො හැමදාම බද්දේගම නගරය ලස්සන කරන නිසා. මේ තමයි මම ද්වීතීයික අධ්‍යාපනය ලබපු පාසලේ නැතිනම් ගා/ ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ තේමා පාඨය. එහි සරල තේරුම තමයි එකිනෙකාට ආදරයෙන් දයාවෙන් කටයුතු කරන්න කියන එක. ඔයාලා බලනවා ඇති මම අද විශේෂයෙන් පාසල ගැන කතා කරන්නෙ ඇයි කියලා. ඒකට හේතුව තමයි මගේ පාසලට විශේෂිත දවසක් පහුගියදා උදා වුනා. ඒ තමයි පසුගියදා සමරන්නට යෙදුනු දෙසිය පස්වන සංවත්සරය. ලංකාවේ පැරණිතම පාසල් නාමලේඛනයේ ඉහල තැනක ඉන්න ආදරණීය පාසල ඒ මොහොත උත්සවශ්‍රීයෙන් සැමරුවා. විශේෂ රථ පෙලපාලියකින්ද, ආගමික කටයුතු වලින්ද තවත් විශේශාංග රැසකින්ද මේ දිනය සමරන්න ඔවුන් අමතක කලේ නෑ. එය පාසලේ අභිමානය ප්‍රදර්ශනය වූ අවස්තාවක් විදිහට හදුන්වන්න පුලුවන්. මේ ලිපිය ඒ සම්බන්ධව හා පාසලේ ඉතිහාසය ගැන බිඳක් ඉදිරිපත් කිරීමේ අරමුණින් ලියමි.
1818 දී ලංකාවට පැමිණි මිශනාරී නායකයෙකු වූ "රොබට් මේයර්" නම් වූ ආගමික නායකයා විසින් 1819 දී මෙම පාසල ආරම්භ කීරීමට කටයුතු කරලා තියෙනවා. එතුමා විසින් මේ සඳහා තෝරා ගත්තේ ගිං ගඟට ආසන්නයේ වූ නගරය මැද පිහිටි සුන්දර කඳු මුදුනකි. එහි පලමුව දේවස්ථානයක් ඉදිකල අතර පසුව එහි පාසලක්ද ආරම්භ කරන ලදී. 1819- 1829 කාලය තුල මෙතුමා මූලික වෙමින් සංවර්ධනය වූ මෙම පාසල අද වන විට වසර 205ක කාලයක් තුල විවිධ විදුහල්පති වරුන් යටතේ රටේ දරු පරපුර වෙනුවෙන් කැප වෙමින් සිටී. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, සොල්දාදුවන් වගේ එකී නොකී රටට වැඩක් ඇති මිනිසුන් බිහිකරමින් ලංකාවේ ජාතික පාසල් නාමාවලියේ ඉහලින්ම වැජඹීමට ක්‍රිස්තුදේව විදුහල් මාතාවට හැකි වී තිබේ. මගේ මුල්ම පාසල නොවුන මුත් මේ නම ඇසෙන විට නිහතමානී ආඩම්බරයකින් හදවත පිරී යයි.
Link
නන්දන ගිං නදි තීරේ - පරිසරයේ හෙල මත වූ
සේව සිතිනි පෙම පාලා - අප මාතා ලකඹරෙහි නිතිනි බැබලේවා
ශාස්ත්‍රා ලෝ සදා මේ දීපේ - ශාන්ත ජීවිත පෑ සමා ශ්‍රී
ආදි කතෘ ඈ නේතෲ - මිතුනට සැම ජය ශ්‍රී වේවා //
ශාන්ත මධුර ගුණ රැසිනී - මෝහ අඳුර දුරු වේවා
ජාතික උන්නතිකාමී - දරුවන් බෝ අප රටට ජනිත කර දේවා
දේශෝදාර සේවෙහි ඒ - සුමිහිරි ගීතා ගයනට එක් වූ
පාඨය වේ ඔබෙ දරුවන්ගේ - දයා පරොභව'ඤ්ඤමඤෙඤසු
මට මේ උත්සව අවස්තාවට සහභාගී වෙන්න නම් ලැබුනෙ නැහැ. එහෙත් එම උත්සවය අන්තර්ජාලයෙන් දකිද්දි මතකය අවුරුදු 12ක් විතර ආපස්සට ගියා. මටත් යන්න තිබුනා නම් කියලා හිතුනා. ඉතින් ඒ ආදරණීය හැගීම හිතේ හිරකරගෙන මම කවි කිහිපයක් ලිව්වා. පාසල් මාතාවට සුබ පැතුම් එක්කරමින් මතක සටහනක් වශයෙන් ඒ කවි කිහිපය පහතින් ලියා තබමි.
දෙසියපස් වසරක්ම බෙදා දුනි දැනුම හර
කිතුදේව විදු මෑණී දිනු දිනය මැයක් කර
ලියවෙද්දි පන්හිඳත් වුනිය අද හැඟුම් බර
නගරෙ මැද කඳු මුදුනෙ තේජසින් ඔබ හිඳී
එකඳු මල් කැකුළකුත් ගිලිහිලා යනු නොදී
දුන්නු සිප් දිය කඳට පරාදයි රන් රිදී
දිනපු උන් මහ මෙරකි කියනු බෑ ගනන් කර
මේ වගෙම හදන්නට කල්පයක් නොදුටු දුර
දින දිනම දිනේ වා මවුනි ඔබ සදා දර
ඔබ සියලුම දෙනාට මේ වගෙම පාසල් ගැන සුන්දර මතකයන් ඇති. මේ ලිපිය කියවීමෙන් ඔබ්ත් ඒ සුන්දර ලෝකයට ගමොහොතකට හෝ ගෙනයාමට මට හැකි වුනා යැයි සිතමි. ආයෙත් දවසක මේ වගේ ලස්සන ලිපියකින් හමුවෙමු. සුබ දවසක් හැමෝටම.