පවුල් ආරවුල් කියන්නෙ හැම පවුලකම වගේ අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන දෙයක්. සමහර වෙලාවට පුංචි පුංචි රණ්ඩු වලින් සම්බන්ධතාවක් ශක්තිමත් කරනව කියලත් අහල දැකල තියෙනව.
හැබැයි මේ ආරවුල් පුංචි බහින්බස් වීමකින් පටන් අරන් ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග යන අවස්ථා තියෙනව.වර්තමානයේ නම් බීමත්කම, අනාචාරය, ආර්ථික ප්‍රශ්න, ලිංගික ගැටලු, දරුවන්ගේ ගැටලු, පවුලේ අයගෙන් වන බලපෑම් වගේ හේතු නිසා සමහර පවුල් වල පුරුද්දක් විදිහට ගැටුම් ඇතිකරගන්නව.
කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සංචරණ සීමා පනවල තිබුණු පසුගිය මාස ගණනට විතරක් ඒ වගේ ආරවුල් නිසා ජීවිත හානි සිදු වුණ අවාසනාවන්ත සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිට අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පුද්ගලයන් නිවෙස්වලට කොටු වුණ කාලය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීම් 33% කින් විතර ඉහළ ගිහින්.
මේ කොච්චර ආදරෙන් සතුටින් ගත කරන්න තිබුණු කාලයක්ද නිකරුණේ නාස්ති කරගන්න මිනිස්සු පෙළඹෙන්නේ.. මුදල් පසුපස දුව දුව ඉන්න දෙමාපියන්ටයි අධ්‍යාපන තරඟෙ හිරවෙලා ඉන්න දරුවන්ටයි එකතු වෙලා සතුටු සාමිචියේ යෙදෙන්න, ඉස්සර කාලෙ කතා කියන්න, වත්තෙ පිටියෙ වැඩක් කරන්න, අලුත් කෑමක් හදල රස බලන්න අවුරුදු ගානකට නොලැබෙන අවස්තාවක් ලැබිල තියෙන්නෙ. ඇයි මිනිස්සු ඒ වෙලාවෙත් ගහමරා ගන්නෙ?
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නීතිමය තත්වය සලකලා බලමුද?
2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත මගින් නිවැසියෙකු විසින් නිවසේදී හෝ පිටතදී කරනු ලබන,
- පහරදීම්
- සාපරාධි බිය ගැන්වීම
- බලෙන් ලබාගැනීම
- ඝාතනයට තැත් කිරීම
- තුවාල කිරීම
- බරපතළ තුවාල කිරීම
- ලිංගික අතවර කිරීම
- ස්ත්‍රී දූෂණය
- උද්වේගකර බැණ වැදීම්
යන ක්‍රියාවන් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස අර්ථ දක්වල තියෙනව. මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව ආරක්ෂක ආඥාවක් ලබාගන්න වින්දිතයකුට ඉඩකඩ සලසල තියෙනව.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන්නෙ පුරුෂයා විසින් කාන්තාවට කරන හිංසන පමණක් නෙවෙයි. මේ පනතට අනුව විවාහ සහකරුට, වෙන්වීමට පෙර සිටි විවාහ සහකරුට, විවාහයට අදාළ ඥාතීන්ට එරෙහිව පවා ආරක්ෂක ආඥාවක් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගන්න පුලුවන් .
මේ ඉල්ලීම කළ යුත්තේ,
- පීඩාවට ලක්වූ අය හෝ
- පීඩාවට ලක්වූ දරුවාගේ දෙමාපිය භාරකාර
අයෙක් හෝ - දරුවා පදිංචි ස්ථානයේ අයෙක් හෝ
- ළමාරක්ෂක අධිකාරියෙන් බලය පැවරූ අයෙක්
හෝ - පොලිස් නිලධාරියෙක්
පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් මගින් තමයි මේ ඉල්ලීම ඉදිරිපත් කරන්නේ.
දෙපාර්ශවයෙන්ම කරුණු විමසා බලා හදිසි තත්ත්වයක් ඇත්නම් මහේස්ත්‍රාත්වරයාට පහත නියෝග සිදු කළ හැකියි.
*පීඩාවට ලක්වූ තැනැත්තාගේ වාසස්ථානයට,
සේවාස්ථානයට, පාසලට, දේපලට ඇතුළු වීම
වැළැක්වීම
- පීඩාවට ලක්වූ තැනැත්තා සමග හෝ එම අයගේ
දරුවන් සමග සබඳතා පැවැත්වීම වැළැක්වීම - පීඩාවට ලක්වූ තැනැත්තාට සහය වන අයට
ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම වැළැක්වීම. - පීඩාවට ලක්වූ තැනැත්තාගේ පසුපස යාම
වැළැක්වීම - ආරක්ෂාවට, සෞඛ්‍යයට, හෝ යහපතට
හානියක් වන ක්‍රියා වැළැක්වීම - වෛවාහක නිවස විකිණීම, පැවරීම හෝ
අන්සතු කිරීම වැළැක්වීම
මෙවන් ආඥාවකට අකීකරු වන අයෙක් දඩයකට හෝ සිර දඬුවමකට හෝ ඒ දඬුවම් දෙකටම ලක් කරන්නත් පුලුවන්.
මීට අමතරව නීති ආධාර කොමිසම, මානව හිමිකම් කොමිසම, පොලිසිය, රෝහල් වල ක්‍රියාත්මක වන "මිතුරු පියස" මධ්‍යස්ථාන සහ රාජ්‍ය නොවන සංවිධාන සහ ආයතන ගණනාවක් ඔබේ අයිතීන් වෙනුවෙන් ඉන්නව.
හැබැයි,නීතිමය රැකවරණය කොහොම උනත් වාර්තා වෙන ප්‍රමාණයට වඩා බොහොමයක් සිදුවීම් ඉවසා දරාගන්න එක තමයි සිද්ධ වෙන්නෙ. දරුවන් නිසා හෝ සමාජයෙන් එල්ල වන අපවාද වලට බිය නිසා නීතියේ පිහිට ලබාගන්න බොහෝ දෙනා කැමති නැහැ. ඒකෙන් වෙන්නෙ තත්ත්වය තවත් දරුණු වෙන එකයි!