තෙදැති රාජ ස්වප්න ලඟ හීන පාන්කඩ

in hive-133716 •  4 years ago  (edited)

"කාව්‍යය වූ කලී සාහිත්‍යය නමැති පෘථුල ක්ෂේත්‍රාවකාශයට අයත් ස්නිග්ධ සූක්ෂ්ම ප්‍රකාශන විධියකි. එය අන්‍යතර සාහිත්‍ය, කලා ප්‍රකාර අතර සුවිශේෂ වූ නිර්මාණාත්මක පරිචිතයකි. එය සංකීර්ණය."
(මහාචාර්ය සමන්ත හේරත්ගේ "නූතන කාව්‍ය අධ්‍යයන ප්‍රවේශය" ග්‍රන්ථයේ පසුවදන)

ක්‍රි.පූ.161දී විරචිත මරදන්කඩවල කොස්වලකන්ද විහාර භූමියෙන් හා දකුණු ලක කිරින්ද ප්‍රදේශයෙන් හමු වී ඇති කවි සෙල් ලිපිවලින් ස්ඵුට කෙරෙනුයේ කවිය ශ්‍රී ලාංකේය ජන විඥානයට හසුව ලෙයට මුසුව ජන ජීවිත හා වෙලී ඉතිහාසයට එක්ව ගෙවී ඇති කාල පරාසය කෙතරම් ද යන්නයි.

එතැන් පටන් සවැනි,සත්වැනි,අටවැනි සියවස්වල සිහ ගිර තරණය කළ රසිකයන් අතින් උඩුකය නිරුවත් ස්ත්‍රී වෛවර්ණ අනු රූ නරඹා ලද සරාගී ආස්වාදය කැටබිත මත කුරුටු ගෑවී,සවැනි පැරකුම් රජ සමය, සීතාවක සහ කෝට්ටේ යුගයන්හි දී මාත්‍රා සහ විරිත්වලට අනුගත වෙමින් සිව්පද ආරෙන් රස වෑහෙන සංදේශ කාව්‍ය ලෙසින් ලියැවී ඉනික්බිති දිගු කලක් ග්‍රන්ථාරූඪ නොවී දනන් තුඩග රැව් දුන් ජන කවි ලෙසින් කවිය ජනතාකරණය විය.

සම්ප්‍රදායික රාමුව බිඳ නිදහස්ව,යුග ගණනක කවි කිවිඳියන් අත විවිධ අනුභූතීන් ස්පර්ශ කරමින් ආකෘතිමය,භාෂාමය අත්හදා බැලීම්වලට ලක්වෙමින් මුද්‍රිත මාධ්‍ය මතු නොව සයිබර් අවකාශය, ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා වැනි විද්‍යුත් මාධ්‍ය තුළින් පාඨකයාට සමීපව වත්මනෙහි එනම් විසි එක් වන සියවසෙහි ද කවිය නම් වන රමණීය සාහිත්‍ය ශානරය රසික හදවත් තුළ විරාජමානව හිඳී.

නූතන කවියට පෙම් බඳින සහෘදයන්ට ස්වර්ණ වර්ණිත ද්වාරයක් විවර කරදෙන සිහින දකින්නියකගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වින්දෙමි.

ඒ කවියට ආගන්තුකාවක නොවන සන්ධ්‍යා මධුරසිංහගේ " රාජ ස්වප්න ලඟ අපෙ හීන පාංකඩ" නම් වූ කවි සරණියයි. එය 2018 වසරේ දී උතුරු මැද පලාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ අත්පිටපත් තරගයේ ජයග්‍රාහී කාව්‍ය අත්පිටපත ලෙස තේරී 2019 වසරේ දී ඔවුන්ගේ අනුග්‍රහයෙන් මුද්‍රිත ග්‍රන්ථයක් සරසවි ප්‍රකාශනයක් ලෙස දොරට වඩන ලද්දකි.

මෙම කාව්‍ය සංග්‍රහය තුලින් ගම්‍ය වන සාධනීය සහ නිශේධනීය ලක්ෂණ විචාරයට ලක් කිරීමට මා අදහස් කරනුයේ පහත පරිදි ය.

වස්තු විෂය/තේමාව (Content)
භාෂා ව්‍යවහාරය (Language)
කාව්‍යෝපක්‍රම/සංකල්ප
රූප (Images)
ආකෘතිය (Form)
කිවිඳියගේ දෘෂ්ඨිය හා අරමුණ
(Vision & intention)

මෙම කාව්‍ය සංග්‍රහය කවි පංති හතලිහකින් සමන්විත වන අතර ඉන් නවයකම වස්තු විෂය වී ඇත්තේ සොබාදමයි.

කවියකු/කිවිඳියක වනාහී තමන් වෙසෙන පසුබිමෙහි සමාජ ආර්ථික විචලනයන්ට මෙන්ම පරිසරයට ද අධි සංවේදී මනුෂ්‍යයකු වග ස්ඵුට කරන "පෙර නොකී වදනක්" හිසින් යුත් මෙම පොතෙහි කිවිඳිය ලියූ පෙර වදනින් උපුටනයක් පහත හොවමි.

"මව් නැළවිල්ලෙන් නැඟෙන කාව්‍ය රිද්මයෙන් ජීවිතය අරඹන මිනිසා සේම ගහ කොළ සතා සීපාවා ද ඔවුන් වහරන බස අනුව කවි කියති.සුළඟ සිලි සිලි නදින් හමන්නේත් ගහකොළ සිරි සිරි නදින් සැලෙන්නේත් වැස්ස සට සට නදින් හැලෙන්නේත් ගඟ දිය රැළි රැළි නගන්නේත් ඔවුන්ගේ කවි හඬ නංවමිනි.එළදෙනක් උම්බෑ හඬින් කියන්නේත් සර්පයෙක් ෂූ ෂූ හඬින් කියන්නේත් ඔවුන්ගේම කවියයි.හොඳින් ඇහුම්කන් දී සිටින්නේ නම් සමස්ත සොබා දහමම අපූර්ව කවියක් පවසන බව වටහා ගැනීම අසීරු නොවේ "

කිවිඳිය කලක සිට වැව් බැඳි දනව්වේ වෙසෙන්නී, නිහඬව සොබා දම් කවි විඳින්නී ඒ අපූර්වත්වය වදනට පෙරළමින් පාඨකයා සොබා සෞන්දර්‍යය වෙත යා කරන පාලමක් කවියෙන් තනන්නීය.

"සබඳ මඳ නළ","රෑ අසිරි","යලි එමි මව් දෙරණ කරා","සඳ ඇති රෑ රන් වැලි සෑ","රාජ ස්වප්න","වෙරළක සිරි","අරුණැල්ල","වැහි වලාවේ එන්න" සහ "පින්කෙත" නමින් පාඨකයා වෙත ගෙනෙන්නී ඇය නිරන්තරයෙන් අසන දකින සොබා දම් දිනිතියේ විචිත්‍රත්වයයි.මෙසියල් කාව්‍යමය ප්‍රයාසයන් සඳැස් වීම ද විශේෂත්වයකි.

"ස්වර්ණ මරකත මාණික්‍ය මුතු එබ්බ වූ රන් කිරුළ ගලවමි
නග්න දෙපයින් ඇවිද යන්නට ස්වර්ණ මිරිවැඩි සඟල ගලවමි
රන් හුයෙන් ගෙත්තම් කරන ලද රුවන් සළු පිලි උනා ගැලවෙමි
ස්වර්ණ වර්ණිත රම්‍ය මන්දිර ද්වාරයෙන් රහසේම නික්මෙමි

අංගනෙන් වීදියට පියමැන රන් ගොයම ඇති කෙතක තනි වෙමි
සෞම්‍ය පවනේ පහස විඳිමින් ස්වර්ණ සඳකැන් දකිනු රිසියෙමි"
"රාජ ස්වප්න" (පිටුව 44)

ඒ රන් මිණි මුතු එබ්බ වූ රජ කිරුළකට වඩා රන් සඳ කිරණින් නැහැවෙන රන්වන් කරලින් පිරි වෙල් යායක දී දැනෙන සුලඟෙහි මුදු පහස විඳීමේ නිදහස අගනා බව පවසා ඇති අයුරු ය.

"තුරු ගොමු කිති කවා නටවා සැරින් සැරේ
කොහි යන්නේ ද පැන දඟ පා වරින් වරේ
අල්ලා ගන්න හිතුවත් පැන මිටින් තරේ
නුඹ හපනෙක් ය බේරී යන්නට මිතුරේ

ඉර මද්දහන් ගිනියම් වූ වෙලාවට
හිස අද්දරින් දැවටී මුදු ලතාවට
කොඳුරා මහන්සි ද අසනා රටාවට
නිවුණා විඩාවන් ගත සිත පුරාවට"
"සබඳ මඳ නළ" (පිටුව 15)

මඳ නළ මිතුරකු ලෙස හඳුන්වන'යුරු අපූරුය.

"දිලෙන සඳ පහන් සිල විහිද නුබ ගැබ පුරා
වළාකුලකින් වසා එනු මැනවි මා කරා
කියා සුදු කුමුදු මල් පිපී විල් දිය පුරා
මග බලා හිඳී රෑ කුමරු වඩිනා තුරා"
"රෑ අසිරි" (පිටුව 17)

සරල බස් වහරකින් නිමැවූ මෙම රමණීය කවියෙහි එන රෑ අසිරිය මට සිහි ගැන්වූයේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ පහත සඳහන් සුප්‍රකට කවියයි.

"සමන්පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සණ ද රෑට"

"රසාත්මක වීම,රමණීය අර්ථ ප්‍රතිපාදනය, ප්‍රබල වින්දනයක් අන්තර්ගතවන හෝ සම්ප්‍රේෂණය කෙරෙන ගද්‍ය, පද්‍ය හෝ මිශ්‍රණයකින් සූක්ෂ්ම ලෙසත් සුපරික්ෂාකාරී ලෙසත් වචන ගැලපීම කාව්‍ය නිර්මාණයේ දී අවශ්‍යය.කවියාගේ කාර්‍යය වන්නේ භාෂා භාවිතය මගින් අපූරු අත්දැකීමක් හෙවත් වින්දනයක් පාඨකයා වෙත ගෙන එමින් ඒ මගින් චමත්කාරයක් දැනවීමය.කාව්‍යයේ දී භාෂාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමය.වචන හෝ වචන සංයෝග මගින් ව්‍යංගාර්ථ දැනවීමය."

මෙසේ පවසන්නේ ඒ.වී.සුරවීර සුලවතුන් 2005 වසරේ ප්‍රකාශිත ඔහුගේ "සාහිත්‍ය විචාර ප්‍රදීපිකා" ග්‍රන්ථයේය.

"රාජ ස්වප්න ලඟ…." කාව්‍ය සරණියේ භාෂාවෙන් උපරිම ප්‍රයෝජන ගත් අවස්ථාවක් පහත දක්වමින් එම කවිය ගැඹුරින් ස්පර්ශ කරන්නට තැත් දරන්නෙමි.

" මුවින් ගිනි ජාලා පිඹ පිඹ
ඇසින් ගිනි පුලිඟු ඉස ඉස
ගිනියම් නපුරු මකරා
කොයි වෙලේ ඒවි ද

පැටවුනට සුඟක් කවා නිදි කොට
බෙදා තැබු මුත් උසට බොජුන් පත
පිලී රස නැතැයි මහත් සැහැසිව
ගොදුර ලෙස අදත් මා ගනීවි ද

එන්නෙ නම් එකම මකරා වුව
වියරුව එක එක දිනට විවිධ ය
නොතැළුන කුමරියක් නෙවෙයි මම
මටත් මකරියක් වෙන්න බැරි කිම
"මකරා" (පිටුව 28)

සමස්ත කවිය ඉහත පැදි ත්‍රිත්වයට සීමාව ඇතත් ඉන් විසල් අරුතක්, රසික නෙත් අරවන සමාජ යතාර්ථයක් ඉස්මතු කරයි.ගිනි පිඹින මකරා යනු මනහ්කල්පිත සත්වයෙකු විනා මහ පොළොවේ සැබවින් නොවසන ජීවියෙකු බව දනිමු.

ඇතැම් පවුල්වල දිවා කල වෙහෙස මහන්සි වී ජීවනෝපායක යෙදෙන ස්වාමියා දවස අවසන නිවසට පැමිණෙන්නේ මතින් මත්ව වියරුව බිරිඳ කටගැස්මට ගැනීමේ අටියෙනි.එබඳු කුටුම්භයන් තුළ සාධාරණ හේතු ඇතිව හෝ නැතිව දෛනික රණ්ඩු දබර නොවරදී.

මෙහි එන මකරා ද එබඳු ස්වාමි පුරුෂයකු බව කවිය තුළ ඉඟි කෙරේ.කථිකාව ඔහුගේ බිරිඳ ය.ස්වාමියා එනතුරු ඈ බලා සිටින්නී බියෙන් සහ සැකයෙන් ඇළලෙමිනි.

ස්වාමියාගේ සැහැසිකම කිවිඳිය විදාරණය කරන්නේ අපූර්වතම ප්‍රබල රූපකයක් භාවිතා කරමිනි.

" මුවින් ගිනි ජාලා පිඹ පිඹ
ඇසින් ගිනි පුලිඟු ඉස ඉස
ගිනියම් නපුරු මකරා…"

කථිකාව සිය ස්වාමියා දකින අයුරුයි ඒ.මෙම නිවස අඟහිඟකමින් පිරි නිවසක් බවට කවියෙන් ඉඟි කරනුයේ දරුවනට සුඟක් කවා නිදි කළ බවටත් සැමියා පිලී (මස්, මාළු, කරවල ආදිය) රහිත කෑම කන්නට සිදු වීමෙන් තදින් කිපෙන බවටත් කර ඇති සඳහනෙනි.මෙවන් කය වෙහෙසන පිරිමින් බොහෝ විට අධික ලෙස අහර බුදින්නන් බැවින් ඔවුන්ගේ බත් පත කොත ගසා බෙදා දීම එම බිරින්දෑවරුන්ගේ සිරිතකි.

කථිකාව ස්වාමියාගේ නිරන්තර තාඩන පීඩනවලින් හෙම්බත්ව සිටින්නී දැන් සිය ඉවසීමේ සීමාව ඉක්මවමින් සිටිනා බව කවියේ අවසන් දෙපදයෙන් ඉඟි කරන්නේ මෙලෙසය.

" නොතැළුන කුමරියක් නෙමෙයි මම
මටත් මකරියක් වෙන්න බැරි කිම"

"කවියා සිය නිර්මාණය සඳහා භාවිතා කළ යුත්තේ සිය අදහස විදාරණය කිරීමට ඇවැසි අත්‍යවශ්‍යම වචන අවම ප්‍රමාණයකි.එබැවින් කවියාට සිදු වන්නේ ඔහුගේ ශබ්ද කෝෂයේ තැන්පත්ව ඇති හොඳම වදන් අවමයෙන් භාවිතා කර සිය නිර්මාණය සමාජගත කිරීමටය."

මෙසේ සඳහන් කර ඇත්තේ ප්‍රවීණ විචාරකයකු සහ කවියෙකු වන ජයසිරි අලවත්ත මහතා සිය "කාව්‍යාලේප" නම් වූ කාව්‍ය විචාර ග්‍රන්ථයේ පෙර වදනේය.එනයින් "මකරා" ද පුළුල් සමාජ යතාර්ථයක් අනාවරණය කරන ප්‍රබල සංක්ෂිප්ත සාර්ථක කවකි.

අර්වින් එඩ්වින් නම් අපරදිග සාහිත්‍යවේදියාගේ කෘතියක් "කලාව සහ මිනිසා" නමින් හෙළ බසට පෙරළමින් මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති මහතා සඳහන් කරනුයේ කවියා යනු වදන් රන්කරුවෙකු ලෙස වචනවල ඉන්ද්‍රිය සංවේදී ශබ්ද ගුණවලින් තමාම ආකර්ශනය කරමින් රසිකයාගේ අවධානය ආකර්ශනය කරගන්නා බවය.

කවියේ සන්නිවේදන කාර්‍යය ඉක්මවා අනෙකුත් සුන්දරතා වෙත රසික අවධානය යොමුකිරීමත් (අපසරණී ගුණය) රසික හැඟීම් ඉහලට ඔසවා තැබීමත් (තීව්‍රකරණය) කවියකින් අපේක්ෂා කරන බවත් තවදුරටත් එතුමන් සඳහන් කර තිබේ.

මේ කාව්‍ය සමුච්චයේ "මාලිගාව" මැයින් යුතු දිගු කවිය දෙස සමීප විමසුම් බැල්මක් යොමු කරමු.
එය ඇරඹෙන්නේ;

"ඉරුණු කුඩ රෙද්ද දිග හැර
හදාගත් හෙවන යට
මාලිගාවක් තිබේ මට" යනුවෙනි.

මහමඟ පසෙක මෙවන් තාවකාලික කුඩා කුටි ඒවා තැනූ සපතේරුවන්හට මාලිගා ලෙස දැනිය හැකි වුව පදිකයන්ට නම් නොතකා හරිනු ලබන සුපුරුදු දෛනික දසුනකි.එම දූලි මාලිගා කවියකු ඇස ගැටී කවක අනුභූතියක් වන්නේ කලාතුරකිනි.එනයින් මෙය නැවුම් තේමාවකි.

පාවහන්,බෑග ආදී පාරිභෝගික භාණ්ඩ තුළින් ඒවායේ හිමිකරුවන්ගේ ජීවනෝපායයන් සහ සමාජ තත්ව නියෝජනය කරන අයුරු ප්‍රශස්තය.කථික සපතේරු මුවට නඟා ඇති වදන් වැල් මෙසේය.

"මේ බරැති සපත්තුව
දෙපතුල් ගෙවෙන තුරු
ලොතරැයි අලෙවි කළ
සෙනෙහෙබර පියෙකුගෙය
අර ඉරුණු සෙරෙප්පුව
මා ඔයේ වැලි
ගොඩ දමන්නට ගොස්
එරී වැල්ලේ කැඩුණු
සොයුරෙකුගෙය
පාට හේදුණු මේ මල්ල
තව කාලෙකට ඇති
කියා මා ළඟ තැබූ
කන්තෝරු මහත්තැන්ගෙය"

මේවා අළුත්වැඩියා කරන්නට දී ඇත්තේ කවුරුන් විසින් කාටද?

ඒ සියල්ලෝ නිර්ධන පහල මධ්‍යම පංතිකයෝය.මෙහි එන කන්තෝරු මහත්තැන් විසින් නියෝජනය කරනු ලබන්නේ සිය එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගැනීමට සරිලන වැටුපක් නොලබනමුත් යාචකයකු මෙන් අනුනට අත පාන්නට ලජ්ජාවන පුලන්නකු බවට පත් වූ රජයේ සේවකයාය.

මෙහිදී කිවිඳියගේ ප්‍රතිභාව, කථික සපතේරුවා ද ඇතුළු නිර්ධන පංතිය කෙරෙහි වන සානුකම්පිත දෘෂ්ටිය සහ ඇගේ පරිකල්පන ශක්‍යතාව පැසසුම්කටයුතුය. මෙහිදී මම එය ඇගේ තෙවන ඇස යැයි නම් කරමි.

දොරකඩ බලා හිඳිනා කුඩා දරුවා විෂයෙහි සපතේරුවා තුළ කුළු ගැන්වෙන දාරක ස්නේහය ඉස්මතු කරමින් රසික හද සහකම්පනය කෙරෙන කවියේ සමාප්තියයි මේ.

"අඩිය ගැලවුණු සපත්තුව
මහන්නට මට දී
තනි කකුලෙන් සිටින
ඉස්කෝලෙ ඇරී යන
මේ පුංචි පුතුගෙය

ඉවසන්න පුතුනේ
ඉක්මණින් මසා දෙන්නම්
මගෙ මාලිගාවට වඩා
ලොකු මාලිගාවක්
නුඹ තනා ගත යුතුය"

රසික මනස තුළ සංකල්ප රූප මවමින් භාව කලම්බනය කර සංවේදනා දනවන භාවික ගුණයෙන් අනූන,පුළුල් වපසරියකට විහිදි සමාජ විවරණයක් මින් සිදු කෙරෙන හෙයින් පාඨකයා ඥානනය කෙරෙන හොඳ කවියක් ලෙස "මාලිගාව" හඳුන්වනු කැමැත්තෙමි.

සංක්ෂිප්තතාව කවිය විෂයෙහි අතිශයින් වැදගත් ගුණාංගයක් වන්නේ රසිකයා නොවෙහෙසා ඕනෑම සාහිත්‍ය/කලා නිර්මාණයකින් අපේක්ෂිත ආනන්දයෙන් ප්‍රඥාවට ඔහු/ඇය රැගෙන යාමේ හැකියාවයි.

මෙහි සඳහන් නොකළ කොටස් ද සහිත දිගු කවක් ලෙස මෙය නිමැවී ඇත්තෙන් අත්‍යවශ්‍ය රූපකාර්ථවත් පද සංයෝජන පමණක් ඉතිරි වන සේ වඩාත් උචිත අවම වදන් හසුරුවමින් සංස්කරණය කළහොත් වඩාත් ප්‍රබල,සංක්ෂිප්ත කවක් බිහිවනු ඇත.

"මන්ද්‍රි දේවී" හිසින් යුත් කවියේ උපුටනයකට ඔබේ අවධානය යොමු කරනු රිසියෙමි.

ක්‍රිෂ්ණජිනා දූ ගෙපැලේ තනිකොට
අන්ධකාරයේ පැස උරලාගෙන
රිදී කාසි පල වැල සොයනා ලෙස
ගොම්මන් යාමේ ගෙන් නික්මෙන්නී
රැය පුරා වංගගිරි අරණ සැරිසරන්නී
මිහිරි පලවැල වනේ
කොතනවත් නොදක්නී
රුදුරු වන වලසුන්ගෙ
අවතාර දකින්නී
ආත්මය කුලී කොට
කාසි ගෙඩි කඩන්නී
"මන්ද්‍රී දේවි" (පිටුව 48)

සිය දියණිය ගෙපැලේ තනිකර සිරුර විකුණනු පිණිස ගොම්මනේ නිවහනෙන් පිටවන අබිසරු ලියක සන්ධ්‍යා පාඨක මනසේ සිත්තම් කරන විට ප්‍රවීණ කිවියර පරාක්‍රම කොඩිතුවක්කුගේ "ගඟට උඩින් කොක්කු ගියා" නම් නිසඳැස සිහිවීම නොවැලැක්විය හැකි ය.

"පියරු උලා සැන් තවරා හැන්දෑ යාමේ
රාස්සිගේ අව් රැල්ල පාවී ගොස්
කිරි දෝලා පලවැල ගෙන
අඳුරේ විජ්ජුලතාවක් විලසින්
අම්මා නුඹෙ ඒවි ද ආපසු"

පරාක්‍රම මොහොතක දිදුලන විජ්ජුලතාවක් සේ දකින රූපාලංකාරයෙන් සුගන්ධයෙන් සැදි කාන්තාව සන්ධ්‍යා මවන්නේ ඊට වෙනස්ව මාතෘත්වයෙන් බැහැර නොවූ සිය දියණියගේ ආරක්ෂාව ගැන නපුරු හීන දකින සාමාන්‍ය මවක ලෙසය.

කවියේ නිමාව මෙසේය.

පෙර දිගින් අරුණු රැස්
පළමුවෙන් දකින්නී
පැලේ ඉව ජූජකට
දැනේවි ද සිතන්නී
ණයට ගත් ආත්මය
ඉනිවැටේ රුවන්නී
නපුරු හීනෙන් මිදී
පැලට ගොඩ වදින්නී

එහෙයින් හර්ද සංවේදී ලෙස සන්ධ්‍යා ඇගේ කථිකාව පාඨක මනසේ මවා ඇත. මහද පැහැර ගත් සිව් පද ආරේ පැදි අටකින් යුත් දිගු පද්‍ය පංතියක කවි තුනක් පමණක් මෙහි හොවමි.

"දූවිල්ල වැදී ගුරු පාට වූ ගස් ගොන්න
බලා ඉන්නේ මුහුණ කට දොවා නාගන්න
ඒ පැතුම් බිඳ දමා එපා හඬවා යන්න
පමා වෙන්නේ ඇයිද වැහි වළාවේ එන්න

දිය හිඳුණු වැවේ මඩ කඩිතිවල ලැග ඉන්ට
තවත් පුළුවන්කමක් නැහැ පුංචි මාළුන්ට
මරණයේ දොරකඩින් හැරී ආපසු එන්ට
නුඹ පැමිණියොත් හැකිය උන්ට වරමක් දෙන්ට

පිපාසිත මුවින් ගී
ගයන්නට බැහැ කියා
කොවුල් කැළ තුරු අගින්
බැස වෙනතකට ගියා
දකින්නට හැකි වුණොත්
පුංචි හසුනක් ලියා
ඔවුන් අත එවනවද
එන්නෙ කවදද කියා
"වැහි වළාවේ එන්න" (පිටු 64-65)

වසරේ වැඩි කාල පරාසයක් දැඩි හිරු රැසින් දැවෙන වියලි කලාපයේ වැසි ඉහෙනතුරු ගස්වැල්, මාළුන්, සතා සීපාවන්, කොවුලන්, කුහුඹුවන්, බිම්මල්, තණ පඳුරු යනාදී මෙතරම් ප්‍රාණීන් රැසක් මග බලා හිඳිනයුරු අප මනසේ කිවිඳිය කවියෙන් සිත්තම් කරන තුරු අපට නොපෙනේ.

එහෙයින් මෙකව සන්ධ්‍යාගේ ඉසියුම් විනිවිද දකින දෑසත් පරිකල්පන ශක්තියත් මුසු වූ සරල බස් වහරකින් නිමවූ සුන්දර නිර්මාණයකි.

කවියෙකුට අත්‍යවශ්‍ය වූ ප්‍රතිභාවෙන් කිවිඳිය පොහොසත්ය.කවිය හා අනෙකුත් අධ්‍යයනයන්හි යෙදෙමින් ව්‍යුත්පත්තියද නිරන්තර අභ්‍යාසයන්හි නියැලෙන්නට සතතාභ්‍යාස ශක්‍යතාවද කිවිඳිය සතු වග ඇගේ මෙම කාව්‍යමය ව්‍යායාමය පසක් කරයි.

ඍජු බිණුමෙන් බැහැරව උචිත වක් බිණුම් භාවිතය, දුලබ අනුභූතීන් හා ඊට ගැලපෙන ආකෘතිමය සහ භාෂාමය අත්හදා බැලීම්, කවියට අනන්‍ය වූ රිද්මය රැක ගැනීම් ආදිය ද අවධානයට ගනිමින් කවිය නම් වූ රමණීයතම අපූර්ව සාහිත්‍ය ශානරය තුළ දිගු දුරක් ගවේශණශීලීව ඇවිද යන්නට සන්ධ්‍යා සොයුරියට ජය පතමි !

--- චාම් ---
28/04/2021
IMG_20210428_044240.jpg

IMG_20210428_044155.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

You have explained everything beautifully, a perfect description about the Sinhalese poetry. 😍

Oh yes. I wrote this sometime back for a compitition. Thank u so much for reading & commenting.

අර ඉරුණු සෙරෙප්පුව
මා ඔයේ වැලි
ගොඩ දමන්නට ගොස්
එරී වැල්ලේ කැඩුණු
සොයුරෙකුගෙය

So heart touching n a very nice explanation too. um so happy to see n read these kind of writings. I feel like they are very colorful. 💕🤗

Thanx a lot.😍

How beautiful is Sinhala poetry! A long article with everything well and nicely explained. This is worth reading. Great! 🤗💛

Thanx dear.

you show, every points nicely..

Thanx a lot dear.

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel
✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

You have been upvoted by randulakoralage, a Country Representative from Sri Lanka. we are voting with the Steemit Community Curator @steemcurator07 account to support the newcomers coming into steemit.