තාත්තගෙ ආදරය

in hive-133716 •  last year 

mentor-e1455633899839.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්නෙ යන්නෙ මාත් ඇතුලුව ගොඩක් කොල්ලො කියන්න, හිතන්න ඕන කාලෙ කියන්නෙ හිතන්නෙ නැති ඒත් පස්සෙ ඒ ගැන හිතල සෑහෙන්න පසුතැවෙන දෙයක් ගැන.ඔව් ඒ තාත්තා ගැන. ගොඩක් වෙලාවට කොල්ලො තාත්තට ආදරෙයි කියල කියන්නෙ නෑ. තාත්තත් එහෙම්මම තමයි.ඒත් ඒ වැරැද්ද තේරෙන්නෙ තාත්ත නැති උන දවසට . තාත්ත කරපු මහමෙරක් දේවල්වල අගේ අපිට දැනෙන්නෙ ඒ දවසට. මේ කතාවත් ඒක හොදටම දැනුන තරුන වයිද්‍යාරයෙක්ගෙ කතාවක්.

තාත්තෙ 🙏ආයමත් අලුව එවන්න ! මම එපා කියන්නෙ නෑ 😥

සටහන ⤵️
මා වෛද්‍ය පීඨයට ඇතුලත් ව මාසයක් පමන ගිය පසු මට දිනක් කාර්යාලයෙන් කැදවීමක් ලැබින. මා එහි ගියේ තරමක් චකිතයකිනි. ඒ අප විසින් කල කුමක් හෝ නොහොබිනා දෙයක් හසුවීදැයි බියෙනි.

මම කාර්යාලයට ගොස් එහි ලිපිකාරිනියක මුනගැසුනෙමි...

" ආ.. ඔයාට තැපෑලෙන් පාර්සලයක් ඇවිත්.."
ඇය කුඩා පාර්සලයක් මා අත තැබීය. මා පුදුමයට පත්ව එය ගතිමි.
'මට කව්ද පාර්සල් එවන්නෙ.."?
එහි අත් අකුරුද හුරුපුරුදුය..

තාත්තා.....!

"මොනවද මේ එවලා තියෙන්නේ..?"
කාර්යාලයෙන් එලියට පැමින කඩා බැලීමි. කුඩු වී ගිය අළුවා පාර්සලයේ විය. තාත්තාගේ ලියුමක්ද එහි විය...

" පුතා අළුවා කන්න ආසා නිසා හදලා එව්වා, යාළුවො එක්ක කන්න.."

පුංචි කල පටන් මට අළුවා කන්නට මහත් ගිජුකමක් ඇත. තාත්තා හදන අළුවා පුදුම රසකි. එත් ඒවා හදන්නේද අවුරුදු සමයට පමනි. ඉන් වැඩිහරියකට වග කියන්නේද මමය.

එවූ අළුවා කන්නට බැරිය.සියල්ලම තැපෑලෙන් එද්දී කුඩු වී ඇත. හැරත් මේ වග යාළුවන් දැන ගතහොත් මට සිනාසෙනු ඇත. එකල දුරකථන නොවූ නිසා වහාම තාත්තාට ලියමනක් යැවීමි.

"තාත්තේ, ආයෙ අළුවා එවන්න එපා. කුඩුවෙලා ගොඩාක් තැපැලේ එද්දි, මම ගෙදර ආවම අවුරුද්දට හදමු තාත්තෙ..."

මීට ලොකු පුතා...

මාසයකට පමන පසු නැවත මට තාත්තාගෙන් ලියමනක් ලැබින. මට පාර්සලයක් දුම්රියෙන් එවා ඇති බවත්. එය සරසවිඋයන දුම්රිය ස්ථානයට ගොස් ගන්නා ලෙසද එහිවිය.

නැවතත් තාත්තා අළුවා පාර්සලයක් එවා ඇත. පෙට්ටියක අසුරා නොකැඩෙන ලෙස එවා ඇත. අළුවා කන්නට ආසා මුත් මේවා ගැන මිතුරන්ට කියන්නේ කෙසේදැයි සිතමින් එය බෝඩිමට රුගෙන ගියෙමි. පසුදා උදයේ බලන විට අළුවා පාර්සලයේ එකක්වත් නැත. සියල්ලම යාළුවන් ගිලදමා ඇත.

මේ අළුවා කතාව batch එකට ආරංචි උවහොත් මා මහත් අපහසුතාවයකට පත්වනු ඇත. නැවතත් නම් අළුවා නොඑවන ලෙස තාත්තාට දැඩිව කියා ලියමනක් ගෙදරට දැමීමි. ඉන්පසුව නම් මට අළුවා පාර්සල් ආවේ නැත.

ටික කලක් ගතවිය. එක් ඉරිදා දිනක උදයේම බොඩ්මේ කාමරයේ දොරට තට්ටු කරන හඩකි .මම නැගිට ගොස් බැලිමි. සිනාවකින් මුව පුරවාගත් තාත්තා දොර අසල සිටී. ඔහු අත පාර්සලයකි.

"පුතා ගොඩාක් දවසකින් ආවෙ නැති නිසා බලලා යන්න ආවා...
පුතාට අළුවා පාර්සලයක් ගෙනාවා මම, එපා කියන්න නම් එපා අද..."

මා කෙතරම් උස් මහත් උවද තාත්තා හිතන්නේ මා තචම ඔහුගේ පුංචි පුතෙක් ලෙසය. ඔහුගේ අහිංසක ආදරයට මට නැවත හිත රිදවිය නොහැක.

සරසවි උයන දුම්රිය ස්ථානයේදී මා ඔහුගේ දෙපා නැමැද සමුගත්විටත් තාත්තා කියුවේ,

" පුතේ අළුවා කන්න ඔක්කොම පුතාටමයි හැදුවෙ.."

සපත්තු අඩිය ගෙවී මතුවූ සිදුරු වල ගල් සිරවී තාත්තා ඇවිදින විට සද්දයක් මතුවෙයි,
ඉනට පටියක්ද නොපලදින ඔහු කලිසම උස්සමින් යන්නේ දැන් තරමක් කෙට්ටු වී ඇති නිසාදැයි මට සිතින...
හිසේ ඉදුන ඉතිරි කෙස් ගස් කීපය දුම්රියේ සුළගට විසිවන විට අතින් එය තද කරගෙන ඔහු දුම්රියට ගොඩවිය. කවුළුවක් අසල ඉදගත් තාත්තා මා නොපෙනී යන තුරුම හිස එලියට යොමා මා දෙස බලා උන් හැටි තචම මතකය...

ඒ මේලොව මට වැඩියෙන්ම ආදරය කල මිනිසාය...

ඉන්පසු කිසිදින මට අළුවා පාර්සල් ආවේ නැත...
එහෙත් මම බලා ඉන්නෙමි..
සසර පුරාම ඔහු සොයා ගොස් ලියුමක් යවමි,

"ආදරණීය තාත්තේ...,
ආයෙ අළුවා එවන්න, මම එපා කියන් නෑ...."

මීට ආදර ලොකුපුතා...

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මේක කියෙව්වම මගේ ඇස් වලටත් කඳුලු ආවා . ඇත්තටම තාත්තගෙ ආදරේ ගොඩාක් ම දැනෙන්නෙ තාත්තා ලග නැති උනාම